චන්දිමාල් දසුන්ට නොලැබුණු අවස්ථාවන් ගැන පුදුම වෙයි!

India vs Sri Lanka 2023/ ILT20 2023

8521
Dinesh chandimal hopes to comeback sri lankan side

ඊයේ ආරම්භ වූ ILT20 තරගාවලියට ක්‍රීඩා කිරීම මගින් නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එකතු වීමට අවස්ථාවක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු දිනේශ් චන්දිමාල් පවසා තිබෙනවා.

මෙවර පළමු වරට පැවැත්වෙන ILT20 තරගාවලියේ Desert Vipers කණ්ඩායම නියෝජනය කරන චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගයක දී නියෝජනය කළේ ගිය වසරේ පෙබරවාරි මාසයේ දී වන අතර, අවසන් වරට එක්දින තරගයක් නියෝජනය කළේ පසුගිය නොවැම්බර් මාසයේ දීයි.

“ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින්ට දැන් දස්කම් දක්වමින් නැවත කණ්ඩායමට එන්න අවස්ථාවක් තියෙනවා,” PTI ඉන්දීය පුවත් ආයතනය සමඟ පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ අදහස් පළ කර තිබෙනවා.

චන්දිමාල් සිය නැවත පැමිණීම පිළිබඳව ඒ අයුරින් ඉඟි කරන අතරේ ම දසුන් ශානකව IPL ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිම කණ්ඩායමක් මගින් මිල දී නොගැනීම පිළිබඳව ද සිය පුදුමය පළ කළා.

“ඔහු ඉන්දියාවේ ක්‍රීඩා කරපු විදියෙන් මම පුදුම වුනා, ඒක අතිවිශිෂ්ටයි. මට විශ්වාසයි අනාගතයේ දී ඔහුව IPL කණ්ඩායමක් මගින් මිල දී ගනීවී. ඔහු තරගයක ස්වභාවය සුළු මොහොතකින් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙක්.”

මෙවර ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියේ මෙන්ම, එක්දින ක්‍රිකට් තරගාවලියේ ද ඉන්දීය පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත් වූ දසුන් පිළිබඳව චන්දිමාල් එසේ පවසා තිබෙනවා.

මේ අතර මේ දිනවල වඩාත් ම කතාබහට ලක් වෙන විස්සයි විස්ස පිතිකරුවා වන Suryakumar Yadav හට ඉන්දීය එක්දින කණ්ඩායමේ ඉඩක් හිමි නොවීම පිළිබඳවත් චන්දිමාල් සිය පුදුමය පළ කර තිබුණා.

“මේ ඉන්දීය කණ්ඩායම දිහා බැලුවා ම තේරෙනවා බංකුවේ (තරගයට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින්) මොන තරම් ශක්තියක් තියෙනවා ද කියලා. එ්ත් මට තවමත් දැනෙනවා Suryaට ඉන්දීය කණ්ඩායමේ මැදපෙළට ක්‍රීඩා කළ හැකියි කියලා.

ඔහු අනිත් පිතිකරුවන්ට වඩා වෙනස්. ඔබට ඔහු වගේ පිතිකරුවෙක් මැදපෙළට අවශ්‍යයි. ලකුණු 30-50ක් රැස් කරමින් ඔහුට පුළුවන් තරගයක් වෙනස් කරන්න. ප්‍රතිවාදී කණ්ඩායම් ඔහු ලකුණු ලබා ගන්නා වේගයත් සමඟම කලබල වෙනවා. මට තවමත් හිතෙන්නේ ඔහු එක් දින තරග ක්‍රීඩා කළ යුතුයි කියලා.”

මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය හෙටින් අවසන් වීමට නියමිත අතර, 2-0ක් ලෙස මේ වන විටත් ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කර අවසානයි.

ඒ පිළිබඳව ද අදහස් දක්වමින් චන්දිමාල් අවධාරණය කර තිබුණේ, දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරගයත් ධනාත්මකව ක්‍රීඩා කළ යුතු බවයි.

“ඉන්දියාවේ දී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීම තරමක් අසීරු දෙයක්, නමුත් ඔවුන් හැම අංශයකින් ම ධනාත්මකව ක්‍රීඩා කළ යුතුයි.”

මේ අතර දිනේශ් චන්දිමාල් ILT20 තරගාවලියේ දී නියෝජනය කරන Desert Vipers සිය පළමු තරගයට හෙට දිනයේ දී මුහුණ දීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ මෙන්ම ILT20 තරගාවලියේත් සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<