Ocean Lanka සහ Hirdaramani කණ්ඩායම් Pro කාණ්ඩයේ ශූරතා දිනයි

383
Mercantile Volleyball Championship 2022 Pro Finals

2022 වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාවයේ ‘Pro’ කාණ්ඩය යටතේ මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (13) පැවති අවසන් මහා තරග ජයග්‍රහණය කළ ‘Ocean Lanka’ සහ ‘Hirdaramani’ කණ්ඩායම් පිළිවෙලින් එහි පිරිමි හා කාන්තා අංශ වල ශූරතා දිනා ගැනීමට සමත් වුනා.

‘Pro’ කාණ්ඩය – පිරිමි

‘Ocean Lanka’ සහ ‘Maliban’ කණ්ඩායම් අතර පැවති අවසන් මහා තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කළ ‘Ocean Lanka’ කණ්ඩායම මෙහි ශූරතාවය හිමි කරගත්තා. මෙම තරගාවලියේ මීට පෙර පැවති අදියරේ ශූරතාවය දිනාගනු ලැබුවේ ද ‘Ocean Lanka’ කණ්ඩායම යි.

තරගයේ පළමු වටයම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ කණ්ඩායම් දෙකම කරට කර ලකුණු ලබාගනිමින් තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබාගැනීමත් සමඟ යි. කෙසේ නමුත් අවසාන ලකුණු කිහිපය තුළ ප්‍රතිවාදීන් අභිබවමින් දක්ෂතා අතරට පැමිණි ‘Ocean Lanka’ ක්‍රීඩකයින් මෙම වටය ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තරගයේ දෙවන වටය ද ඒ ආකාරයෙන්ම ඉතා තරගකාරී ස්වරූපයක් ගත්තත් ලකුණු 23-25ක් ලෙස එය ‘Maliban’ ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරමින්.

කෙසේ නමුත් යළිත් ක්‍රියාත්මක වූ ‘Ocean Lanka’ ක්‍රීඩකයින් දක්‍ෂ ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තෙවන වටය ලකුණු 25-20ක් ලෙස ජයග්‍රහණය කරමින් තරග වට 2-1ක් ලෙස තරගයේ පෙරමුණට එන්නට සමත් වුනා.

අනතුරුව පැවති සිව්වන වටයේ දී ද දෙපිළේම ක්‍රීඩකයින් පෙර තරගවටවල දී මෙන්ම කරට කර තරගයක් දියත් කළත් අවසානයේ දී ‘Maliban’ කණ්ඩායම විසින් එම වටය ජයග්‍රහණය කරනු ලැබුවේ තරගයේ තීරණය පස්වන සහ අවසාන වටයකට රැගෙන යමිනි.

පස්වන වටයේ දී නැවතත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ ‘Ocean Lanka’ ක්‍රීඩකයින් ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ලකුණු 15-11ක් ලෙස එම වටය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තරග වට 3-2ක් ලෙස අවසන් මහා තරගයේ ජයත් සමඟින් තරගාවලියේ ශූරතාවය ද තමන් සතු කරගනිමින්.

‘Pro’ කාණ්ඩය – කාන්තා

කාන්තා අවසන් මහා තරගයේ දී ‘MAS Casualline’ කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගන්නට සමත් වුනේ ‘Hirdaramani’ කණ්ඩායම යි.

කණ්ඩායම් දෙකම ලකුණ පිට ලකුණ ලබාගනිමින් තරගයේ පළමු වටයට ඉතා උණුසුම් ආරම්භයක් ලබාගැනීමට සමත් වුනේ අවසන් මහා තරගයක උද්වේගකර බව ප්‍රේක්ෂකයින් වෙත සමීප කරමින්. කෙසේ නමුත් එහි දී අවසානයේ ‘Hirdaramani’ ක්‍රීඩිකාවන් අභිබවමින් ලකුණු 28-30ක් ලෙස එම වටයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ‘MAS Casualline’ ක්‍රීඩිකාවන් සමත් වුනා.

ප්‍රතිවාදී ‘Hirdaramani’ ක්‍රීඩිකාවන් තරගයේ දෙවන වටයේ දී සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වීමත් සමඟ ඔවුන් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට සමත් වුනා. ඒ අනුව ඔවුන් එම වටය ලකුණු 25-15ක් ලෙස දැඩි අභියෝගයකින් තොරව ජයග්‍රහණය කළා.

එතැන් සිට ‘MAS Casualline’ කණ්ඩායමට තරගයට අවතීර්ණ වීමට කිසිඳු අවකාශයක් ලබානොදුන් ‘Hirdaramani’ ක්‍රීඩිකාවන් ඉදිරි තරග වට දෙකේ දී ද ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරනු ලැබුවේ එම වට දෙක ජයග්‍රහණය කරමින් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය තමන් සතු කරගනිමින්. එම වට දෙකේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 25-19ක් හා 25-16ක් ලෙසයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<