Mickey Arthur ආයෙත් පාකිස්තානයට එන්න බැහැ කියයි!

5669

හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මෙන්ම, වත්මන් Derbyshire ප්‍රාන්ත පුහුණුකරු ද වන Mickey Arthur විසින් නැවතත් පාකිස්තාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට පත් කර ගැනීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරු විසින් පාකිස්තාන ක්‍රිකට් වල පවතින අවිනිශ්චිතභාවය නිසා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ලැබෙන අතර, පසුව ඔහුට පාකිස්තාන කණ්ඩායමේ උපදේශක ධුරයක් ලබා දීමට කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Derbyshire ප්‍රාන්ත කණ්ඩායම සමග Arthurට පවතින දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව පසෙකට දමා මෙම නව තනතුර භාර ගැනීමට ඔහු සූදානම් නැති බවයි Cricbuzz විසින් වාර්තා කරන්නේ.

“Derbyshire සමඟ ඇති දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව නිසා අපි ඔහුට PCB සහ Derbyshire සමඟ කාලය බෙදා ගෙන උපදේශක තනතුරක් බාර ගන්නා ලෙස ද ඉල්ලීම් කළ නමුත් අවාසනාවන්ත ලෙස එම විකල්පය ද දෙපාර්ශවයේ ම විවිධ හේතූන් මත ක්‍රියාවට නැංවීම දුෂ්කර එකක් බව පසුව පැහැදිලි වුනා.”

තමන් Mickey Arthur සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළ බව තහවුරු කරමින් ඊයේ (10) PCB ය වෙතින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඒ බව සඳහන් කර තිබුණා.

හිටපු පුහුණුකරු Mickey Arthur ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගනිමින් ආසියා කුසලානය (2023), 2023 එක්දින ලෝක කුසලානය, 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2025 ශූරයින්ගේ කුසලානය යන තරගාවලි සඳහා පාකිස්තාන කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම බාර දීමට බලාපොරොත්තු ව සිටි බවත් PCB නිවේදනයේ තව දුරටත් සඳහන් කර තිබෙනවා.

“පවතින තත්වය යටතේ PCBය විසින් ජාතික පුහුණුකරු වගකීම දැරීමට සුදුසු පුද්ගලයා තව දුරටත් සොයමින් සිටින අතර, ඒ යටතේ තවත් ප්‍රසිද්ධ නම් කිහිපයක් ම සලකා බලමින් ද සිටිනවා.”

වත්මන් පාකිස්තාන පුහුණුකරු Saqlain Mushtaqගේ ධුර කාලය මෙම මාසයෙන් අවසන් වන අතර, ඔහු තව දුරටත් පුහුණු කාර වගකීම දැරීමට ද බලාපොරොත්තු නොවන බැවින් PCBය විසින් මෙසේ නව පුහුණුකරුවකු සොයමින් සිටිනවා.

මීට පෙර PCB සභාපති ලෙස කටයුතු කළ Ramiz Rajaගේ ඉවත් කිරීමෙන් පසු බලයට පත් වූ Najam Sethiගේ ප්‍රධානත්වයෙන් මෙසේ නව පුහුණුකරුවන් සොයමින් සිටින අතර, මෙම බල හුවමාරුව සමඟින් පාකිස්තාන ක්‍රිකට් වල ඇති වූ කැලඹීමත් Mickey Arthurගේ මෙම ප්‍රතික්ෂේප කිරීමට යම් පමණක හෝ දායකත්වයක් සැපයූ බව අනුමාන කළ හැකියි.

මීට පෙර 2016 වසරේ දී පාකිස්තාන ක්‍රිකට් පුහුණුකරු ධුරය භාර ගත් Arthur විසින් 2017 දී පාකිස්තානයට ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට මාවත විවර කර දුන් අතර, 2019 ලෝක කුසලාන තරගාවලිය අතර මැදින් පාකිස්තානය ඉවත් වීමෙන් පසුව ඔහුට පාකිස්තාන පුහුණුකාර ධුරය අහිමි වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<