රන් මහා සටනට සියල්ල සූදානම්

ඩී. එස්. - මහානාම රන් මහා සටන 2023

333

කොළඹ නගරයේ තවත් ප්‍රසිද්ධ පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ 17 වැනි අදියර මාර්තු 24 සහ 25 කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතයෙන් පසුව ඉතා ඉහළින් පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්වුනා. ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාසල් දෙකේ විදුහල්පතිවරුන්, කණ්ඩායම් දෙකේ නායකයින්, පුහුණුකරුවන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් එක්ව සිටියා.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරගොඩ මහතා ප්‍රකාශ කළේ,

“මම ආරාධනා කරනවා හැමෝටම මේ තරගය නරඹන්න එන්න කියලා. ඒ වගේම මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ක්‍රීඩාවේ ගුණාංග රැක ගනිමින් ඉතා සංයමයෙන් යුතුව තරගය නරඹන ලෙස.

මෙම තරග දෙක අපේ පාසල් වලට ඉතාම වැදගත්. මෙම තරගවලට සමාන්තරව තවත් තරග සහ විෂය සමගාමී ඉසව් කිහිපයක් ම පවත්වන්න අපි සූදානම් කරලා තියෙනවා. ඉදිරි කාලයේ අපි බලාපොරොත්තු වෙනවා මෙම මහා තරගයට සමගාමීව විවාද තරග වැනි ඉසව් පවත්වන්න.”

මෙවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නායකත්වය මනුර පීරිස් හට හිමිව තිබෙන අතර මහානාම කණ්ඩායමේ නායකත්වය දරන්නේ සචිර වැලිවත්ත විසිනුයි.

පාසල් ක්‍රිකට් පිටියේ වර්තමානයේ දස්කම් අතර සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඩී. එස්. සේනානායක විද්‍යාලය නියෝජනය කරද්දී, ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අංජල බණ්ඩාර, දුවිඳු රණතුංග වැනි ක්‍රීඩකයින් මහානාම කණ්ඩායම නියෝජනය කරනවා.

“මෙවර සත්කාරක පාසල විදියට වැඩ කරන්නේ මහානාම විද්‍යාලයි. අපි මේ සියලු දේවල් පාසල් දෙකම එකතු වෙලා ඉතාම හොඳින් මේ වැඩ සූදානම් කරලයි තියෙන්නේ.

මහා තරගයට අමතරව අපි ගොඩක් වැඩසටහන් පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ. මෑත කාලයේ ක්‍රිකට් මහා තරග ගැන යහපත් පූර්වාදර්ශ ඉතාම අඩුයි. ඒ නිසා අපි අපේ ක්‍රිකට් තරගයෙන් ඒ පූර්වාදර්ශය ලබා දුන්නොත් ඒක විශාල දෙයක්.

විද්‍යාල දෙක ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේම මම සුබ පතනවා දෙදින තරග ජයග්‍රහණ පිපාසයෙන් පෙළෙන මගේ (මහානාම) කණ්ඩායමට වගේම එක්දින තරග පිපාසයෙන් පෙලෙන ඩී. එස්. සේනානායක විද්‍යාලයට,” යැයි මහානාම විද්‍යාල විදුහල්පති ඒ. සී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.

2007 වසරේ ආරම්භ වූ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනේ ලැබූ එකම ජයග්‍රහණයට හිමිකම් කියන්නේ ඩී. එස්. සේනානායක විද්‍යාලය වන අතර අනෙක් තරග සියල්ල අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

කණ්ඩායම් දෙක අතර දෙදින තරගය මාර්තු 24 සහ 25 දෙදින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරගය අප්‍රේල් 08 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

රන් මහා සටනේ එක්දින තරගය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<