Rashid khanගෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙත තර්ජනාත්මක ඇමතුමක්!

3929

ඕස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්තානය සමඟ ලබන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවී සිටීමට තීරණය කිරීමත් සමඟ, තමන් ද BBL තරගාවලියෙන් ඉවත් වීමට ඉඩ ඇතැයි ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan විසින් පවසා තිබෙනවා.

මේ වන විට ඇෆ්ගනිස්තානය පාලනය කරමින් සිටින තලේබාන් ප්‍රතිපත්තිවලට අනුව එරට ගැහැණු ළමුන්ට අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි වීමට විරෝධය ප්‍රකාශ කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දෙරට අතර පැවැත්වීමට තිබූ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බව ඊයේ (12) දන්වා තිබුණා.

” මාර්තුවල දී අපි සමඟ පැවැත්වීමට තිබුණු තරගාවලියෙන් ඕස්ට්‍රේලියාව ඉවත් වුන බව ඇසීමෙන් මම දැඩි ලෙස කලකිරීමට පත් වුනා. මගේ රට නියෝජනය කිරීමට ලැබීම පිළිබඳව මම ගොඩක් ආඩම්බර වෙනවා, ඒ වගේම අපි ලෝක මට්ටමේ ඉතාම හොඳ ප්‍රගතියක් ලබා තිබෙනවා. CA (Cricket Australia) විසින් ගත් මෙම තීරණය අපේ ගමන ආ පස්සට ඇදීමක් වගේ දෙයක්. ඇෆ්ගනිස්තානය සමඟ ක්‍රීඩා කිරීම ඒ තරම් අපහසු දෙයක් නම්, මම BBL ක්‍රීඩා කරමින් තව දුරටත් කිසිම කෙනෙක් ව අපහසුතාවට පත් කරන්නෙත් නැහැ. ඒ නිසා මම මේ තරගාවලියේ මගේ අනාගතය ගැන දැඩි ලෙස සලකා බලනවා.”

මේ දිනවල පැවැත්වෙන BBL තරගාවලියේ ද Adelaide Strikers කණ්ඩායම නියෝජනය කරමින් තරග අටක් ක්‍රීඩා කළ පසුව SA20 තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ඇෆ්ගනිස්තාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan විසින් ඕස්ට්‍රේලියාවේ මෙම ආන්දෝලනාත්මක තීරණය සම්බන්ධව Twitter හරහා එසේ අදහස් දක්වා තිබුණා.

ඔහු එම Twitter සටහනේ උධෘත පාඨය ලෙස සඳහන් කර තිබුණේ,

“ක්‍රිකට්, ඒ තමයි රටේ එකම බලාපොරොත්තුව.

දේශපාලනය එයින් ඈත් කර තබන්න.”

යනුවෙනුයි.

CA විසින් ඊයේ ප්‍රකාශ කළ මෙම තීරණයෙන් පසුව Rashid Khan මෙන්ම තවත් ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම් ක්‍රීඩකයින් ද මේ තීරණය පිළිබඳ සිය කනස්සල්ල ප්‍රකාශ කළ අතර, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද (ACB) මෙය “ඛේදජනක” සිදු වීමක් බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වසර ගණනක් තිස්සේ පැවති යුද්ධයෙන් පීඩා විඳි ජනතාව නැවත එකා වන්ව එකතු කිරීමේ වගකීමේ වැඩි බරක් ක්‍රිකට් ක්‍රීඩාව මත පැටවුණ බවත්, ක්‍රිකට් තව දුරටත් පාසල්වල සහ විශ්ව විද්‍යාලවල ප්‍රචලිත කිරීමේ සැලසුම් තමන් සතු වන බවත් ඔවුන් එම නිවේදනයේ සඳහන් කර තිබුණා.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විසින් ගත් මෙම අසාධාරණ සහ බලාපොරොත්තු නොවූ මෙම තීරණය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් වල ප්‍රගමනයට සෘණාත්මක බලපෑමක් කරනු ඇති බවත්, ඉදිරියේ දී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් BBL තරගාවලියට සහභාගී වීම පිළිබඳ ව ද නැවත සිතා බලන බවත් එහි සඳහන් වුනා.

තවදුරටත් ACBය විසින් සඳහන් කර තිබුණේ ICC ය වෙත මෙම ගැට‍ළුව පිළිබඳ සඳහන් කර ලිපියක් යැවීමට ද ඔවුන් බලාපොරොත්තු වන බවයි.

මීට පෙර 2021 වර්ෂයේ ද ඕස්ට්‍රේලියාවේ හෝබාට් හිදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගන් – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගයක් තලේබාන් රාජ්‍ය ප්‍රතිපත්ති නිසා අත්හැර දැමීමට ඕස්ට්‍රේලියාව තීරණය කළ අතර මෙම තරගාවලිය ද අත් හැර දැමුවහොත් ඇෆ්ගනිස්තානයට ඕස්ට්‍රේලියාව සමඟ නැවත ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කිරීමට 2024 වසර වන තෙක් බලා හිඳීමට සිදුවනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapar.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<