නායකත්වය දෙන්නම් කියූ Chappellගේ චපල ක්‍රියාව

709

ඉන්දියාවෙන් බිහි වූ ප්‍රවේගකාරී ම ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන Virender Sehwag විසින් අතීතයේ තමන්ට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය නොලැබීම පිළිබඳ තවමත් කනස්සලු වන බව ඔහු විසින් සිදු කරන ප්‍රකාශ මගින් හෙළිදරව් වනවා.

2003-2012 කාලසීමාව තුල තරග 12ක දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව Sehwag හට හිමි වුනත් ඔහු කිසිම විටකත් ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත්වුනේ නැහැ.

2005 දී Greg Chappell විසින් ඉන්දීය ප්‍රධාන පුහුණුකාර ධුරය භාර ගැනීමෙන් පසු එවකට ඉන්දීය නායකයා වූ Sourav Ganguly හට ඉන්දීය නායකත්වය අහිමි වූ අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස Shewag හට අවස්ථාව හිමි වේ යැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ නමුත් නායකත්වය දැරීමේ වගකීම පැවරුණේ Rahul Dravid හටයි.

2005 දී නායකත්ව වගකීම බාර ගත් Dravid 2007 දී නායකත්වයට සමුදුන් අතර, ඉන්දීය කණ්ඩායමේ සිදු වූ විශාල වෙනස්කම් රැසක මූලික පියවර ලෙස MS Dhoni හට ඉන්දීය නායකත්වය හිමි වුනා. ඔහුගේ උපනායකයා ලෙස Sehwag හට වගකීම් පැවරුනත් එතැනින් එහාට ගොස් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දීමට Sehwag හට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

“Greg Chappell ආපු ගමන් (2005 දී) මුලින්ම ඔහු කරපු ප්‍රකාශය තමයි මීළඟ ඉන්දීය නායකයා Sehwag වේවි කියන එක. නමුත් මම දන්නේ නැහැ ඊළඟ මාස දෙක ඇතුළේ මොනවා වුනා ද කියන්න, නායකත්වය කෙසේ වෙතත් මට කණ්ඩායමේ ස්ථානයත් අහිමි වුනා.”

මෑතක දී ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන News 18 වෙත ලබා දුන් සාකච්ඡාවක් අතරතුර Sehwag විසින් මේ බව ප්‍රකාශ කරනවා.

මම මගේ රට පිළිබඳ ව හැමවෙලේම විශ්වාස කරනවා. අපිට ඉන්නවා ඉන්දීය කණ්ඩායම කළමනාකරණය කරන්න පුළුවන් හොඳ දේශීය පුහුණුකරුවන්. ඒ නිසා අපිට විදෙස් පුහුණුකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. මම ක්‍රීඩා කළ කාලයේ දී අපේ ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් මම ඇහුවා ඇයි අපිට Jhon Wrightගෙන් පසුව තවත් විදෙස් පුහුණුකරුවෙක් අවශ්‍ය වෙන්නේකියලා.

ඉන්දියානු පුහුණුකරුවන් සමඟ බොහෝ කාලයක් ගත කරපු ඔවුන් කිව්වේ ඉන්දීය පුහුණුකරුවන් සමහර ක්‍රීඩකයින් කෙරේ වැඩි පක්ෂපාතී බවක් පෙන්වනවා සහ ඔවුන්ගේ ප්‍රියතමයන් නොවුනොත් කණ්ඩායමේ අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. නමුත් විදෙස් පුහුණුකරුවන් මේ දේවල් දිහා වෙනස් විදියකට බලාවි කියලා.

නමුත් ඇත්තටම ඔවුන්ට කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. විදෙස් පුහුණුකරුවන්ට පවා Tendulkar, Dravid, Ganguly හෝ VVS Laxman වැනි අය සමඟ වැඩ කිරීමේ පීඩනය මොන තරම් ද කියලා දැනෙන්න ඇති.”

ඉන්දීය කණ්ඩායම තුල ප්‍රවීණ ක්‍රීඩකයින් ගේ බලපෑමට නතු නොවී සිටීමට කිසිදු පුහුණුකරුවකුට නොහැකි බව ව්‍යංගාර්ථයෙන් Sehwag පවසනවා.

Sehwag විසින් විදෙස් පුහුණුකරුවන් තිදෙනෙකු යටතේ ක්‍රීඩා කර ඇති අතර එයින් Jhon Wright (2000-2005) යටතේ Sehwag හට එක්දින සහ ටෙස්ට් තරග රටා ද්විත්වයේම ආරම්භක පිතිකරු භූමිකාවට පණ දීමට අවස්ථාව හිමි වූ අතර, Sehwag විසින් එහි උපරිම ඵල නෙලා ගැනීමට ද සමත් වුනා.

නමුත් ඉන්පසුව Greg Chappellගේ පුහුණුකාරිත්වය යටතේ Sehwag හට ඒ තරම් සුබ කාලයක් උදා නොවුනත්, Chappellගෙන් පසුව ඉන්දීය පුහුණුකරු බවට පත් වූ Gary Kirsten විසින් නැවතත් Sehwagගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වුනා.

මෙම සාකච්ඡාවේ දී Chappell පිළිබඳව තමන්ට ඇති අවිශ්වාසය පිළිබඳ Sehwag ඉඟි කළ නමුත් Kirsten පිළිබඳව නම් Sehwagට ඇත්තේ හොඳ හැඟීමක් බව ඔහු හෙලි කරා.

මම හිතන්නේ ඉන්දීය කණ්ඩායමට පුහුණුකරුවෙක් අවශ්‍ය නැහැ, ඉන්දියාවට අවශ්‍ය බැඳීම් වැඩි දියුණු කරන්න පුළුවන්, කණ්ඩායම් සාමාජිකයින් අතර මිතුරුදම් වැඩි දියුණු කරන්න පුළුවන් පිරිස් කළමනාකරුවෙක්. පුහුණුකරු දැන ගත යුතුයි එක් එක් ක්‍රීඩකයා විසින් මොන තරම් පුහුණුවීම් සිදු කළ යුතු ද කියලා. ඔහු මට පුහුණු වෙන්නේ දෙන්නේ පන්දු 50ක් නම් Dravid හෝ Tendulkar හට පන්දු 200ක් ලැබෙනවා. ඊට පස්සේ ඔහු අපිට විවේකයක් ලබා දෙනවා. ඒ වගෙයි ඔහු පුහුණු වීම් සිදු කරන්නේ.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<