Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්!

World Test Championship 2021-23

5109
​Two sri lankans included to wisden's wtc team

ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා.

2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් ආරම්භ වුන ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි අදියරට නියමිත සියලුම තරග ඊයේ (20) දිනයෙන් අවසන් වුනා.

මෙම තරග වාරයේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජුනි මාසයේ දී වන නමුත් (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ජුනි 7 වැනිදා පටන් එම තරගය පැවැත්වීමට නියමිතයි.) මෙතෙක් පැවැත්වුණු තරගවලට අදාළව හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් 2021-23 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම (Wisden’s WTC 2021- 2023 XI) නම් කිරීමට ලෝ ප්‍රකට ක්‍රිකට් සඟරාවක් වන Wisden සඟරාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායමේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මෙන්ම ඕස්ට්‍රේලියානුවන් සිව්දෙනෙක්, ඉන්දියාවෙන් තිදෙනෙක් මෙන්ම එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකුට ඉඩ විවර වී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත්ව ඇත්තේ වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

දිමුත් කරුණාරත්න

තරග – 12, ලකුණු – 1054, පිතිකරණ සාමාන්‍යය – 47.90, වැඩිම ලකුණු 147, ශතක -2 අර්ධ ශතක – 8

මෙම තරග වාරය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත් වීමට සමත් වෙමින් ද, සියලුම කණ්ඩායම්වල ආරම්භක පිතිකරුවන් අතරින් දෙවැනියට ඉහළම ලකුණු ලාභියා ලෙස ද දිමුත්ගේ නම සටහන් වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දී මෙන්ම විදෙස් තරග සංචාරවල දී ද එක ලෙස දස්කම් පෙන්වීමට සමත් වූ දිමුත් නිමා වූ නවසීලන්ත තරග සංචාරයේ දී ද ඉනිම හතරක දී අර්ධ ශතක තුනක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව මෙම ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු භූමිකාව දිමුත්ට හිමි වෙද්දී, අංක හතර පිතිකරු ලෙස චන්දිමාල්ව තෝරා ගෙන තිබෙනවා.

දිනේශ් චන්දිමාල්

තරග – 10, ලකුණු – 958, පිතිකරණ සාමාන්‍යය – 68.42, වැඩිම ලකුණු 206, ශතක -2 අර්ධ ශතක – 5

Babar Azam, Steve Smith සහ Joe Root වැනි පිතිකරුවන් කිහිප දෙනෙක්ම අතරින් අංක හතර ස්ථානයට දිනේශ් චන්දිමාල්ගේ නම Wisden සඟරාව විසින් තෝරා ගෙන තිබෙනවා.

එහි දී ඔවුන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු විසින් ගාල්ලේ දී වාර්තා කළ ද්විත්ව ශතකය මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව Mirpur හී දී ඔහු වාර්තා කළ ශතකයත් කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වුන වටිනා ඉනිම් බවත්, කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා චන්දිමාල්ගෙන් ලද දායකත්වය විශේෂ කොට සලකමින් ඔහුව මෙම ස්ථානය වෙනුවෙන් තෝරා ගත් බවයි.

මේ අතර මෙම කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ලෙස Usman Khawaja, Marnus Labuschagne, Jonny Bairstow යන අය නම් කර ඇති අතර, හදිසි අනතුරකට මුහුණ දීම නිසා පසුගිය Border – Gavaskar තරගාවලිය සම්පූර්ණයෙන්ම මග හැරී ගිය ඉන්දීය ක්‍රීඩක Rishab Pant විසින් පසුගිය කාලයේ දැක්වූ අතිවිශිෂ්ට දස්කම් පාදක කර ගනිමින් ඔහු මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නම් කර තිබෙනවා.

ඊට අමතරව තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වන Ravindra Jadeja සහ Pat Cummins, Kagiso Rabada, Nathan Lyon මෙන්ම Jasprit Bumrah මෙම කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස Wisden විසින් තෝරා ගෙන තිබෙනවා.

Wisden සඟරාව මගින් නම් කළ 2021- 2023 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම මෙසේයි,

Usman Khawaja, Dimuth Karunaratne, Marnus Labuschagne, Dinesh Chandimal, Jonny Bairstow, Rishabh Pant, Ravindra Jadeja, Pat Cummins, Kagiso Rabada, Nathan Lyon, Jasprit Bumrah

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<