තීරණාත්මක ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින සංග්‍රාමයට පෙර

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

231

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා ඩකා හිදී ආරම්භ වනවා. එක්දින තරග තුනකින් සමන්විත මේ තරගාවලිය ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් වන බැවින් මේ තරගාවලිය ජය ගැනීම දෙපිලටම ඉතාමත් වැදගත් වනවා.

1986 සිට පැවත එන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින තරග 48ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 40ක ජය ශ්‍රී ලංකාව සතු වෙද්දී බංග්ලාදේශය තරග 7ක් ජයග්‍රහණය කර සිටී. ඊට අමතරව තවත් තරග තුනක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ කණ්ඩායම් අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2019 වසරේ ජූලි මාසයේ දී වන අතර එම තරගාවලියම 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේයි.

සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඉපැරණි තරග ඉතිහාසය තුල ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 31ක් ක්‍රීඩා කරමින් ලකුණු 1206ක් ලබාගෙන ඇත්තේ 48.24ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු බංග්ලාදේශය සමඟින් එක්දින තරග 17කට සහභාගී වෙමින් කඩුලු 31ක් දවාගෙන ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

ප්‍රහාරාත්මක පිතිකරුවන්

කුසල් ජනිත් පෙරේරා

ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල සහ පරිණත ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත්, මැදපෙළ හා ආරම්භක පිතිකරුවෙකු ලෙස ජාත්‍යන්තර එක්දින තරග 101ක දී ලකුණු 2825ක් ලබාගෙන ඇත්තේ 31.04ක් වැනි මට්ටමක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

කුසල් ජනිත්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 14ක් සහ ශතක 5ක් ඇතුළත්. වමතින් පිත්ත හසුරුවන ඔහු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර එහි දී 40.45ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන බංග්ලාදේශ පන්දු යවන්නට සංග්‍රහ කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස ඔහු සිය වගකීම උපරිමයෙන් ඉටු කරනු ඇතැයි විශ්වාස කරනවා.

තමිම් ඉක්බාල්

බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස තරගාවලිය සඳහා පැමිණෙන මේ වමත් ආරම්භක පිතිකරුවා බංග්ලාදේශ පිතිකරණය සවිමත් කරවීමට හැකි සුවිශේෂී පිතිකරුවෙක් වෙනවා.

ජාත්‍යන්තර එක්දින තරග 213ක් තුළ ඔහු විසින් ලකුණු 7452ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.89ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. ඉක්බාල් එක්දින ශතක 13කින් සහ අර්ධ ශතක 50කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබෙනවා.

ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 24ක දී ලකුණු 666ක් ලබාගෙන තිබෙන්නේ 30.27ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. එයට ශතක දෙකක් හා අර්ධ ශතක 4ක් ඇතුළත් වෙනවා.

කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව උපනායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින තවත් දක්ෂ මැදපෙළ පිතිකරුවෙක්. ඔහු මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 76ක දී ලකුණු 2167ක් රැස්කර ගෙන ඇත්තේ අර්ධ ශතක 17ක් සහ ශතක දෙකක් සමඟ 30.52ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. 

එසේම බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 10ක් ක්‍රීඩා කර තිබෙන මෙන්ඩිස් එහි දී ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබාගෙන ලකුණු 345ක් ලබාගෙන තිබෙන්නේ 43.12ක දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ශකීබ් අල් හසන්

බංග්ලාදේශ කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල, පරිණත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරන ශකීබ් අල් හසන් දක්ෂ දකුණත් පිතිකරුවෙක්.

ඔහු ජාත්‍යන්තර එක්දින තරග 209ක දී ලකුණු 3976ක් ලබාගෙන ඇත්තේ 34.57ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ශකීබ්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 48ක් හා ශතක 9ක් ඇතුළත් වෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 22ක් ක්‍රීඩා කොට ලකුණු 607ක් ලබාගෙන තිබෙන නිසාවෙනි.

තර්ජනාත්මක පන්දු යවන්නන්

ඉසුරු උදාන

ශ්‍රී ලංකා පිතිකරුවන් හා සසඳා බලන විට පන්දු යවන්නන් හට වැඩි අත්දැකීම් ප්‍රමාණයක් නොමැති නමුත් සිටින ක්‍රීඩකයින් අතරින් අත්දැකීම් වැඩිම ප්‍රමාණයක් තිබෙන වේගපන්දු යවන්නා වන්නේ, ඉසුරු උදානයි. 

IPL තරග පවා ක්‍රීඩා කර තිබෙන ඔහු බංග්ලාදේශයට එරෙහිව එක එක්දින තරගයක් ක්‍රීඩා කර තිබෙන නමුත් ජාත්‍යන්තර එක්දින තරග 18ක දී කඩුලු 16ක් දවාගෙන තිබෙනවා. උදාන එක් පන්දු වාරයකට දල වශයෙන් 6.20ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී තිබෙනවා.

ටස්කින් අහමඩ්

උස අඩි 6 අඟලක් වන වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්, ජාත්‍යන්තර එක්දින තරග 36ක දී කඩුලු 48ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. ලකුණු 28 කඩුලු 5ක් දවා ගැනීම එක් කණ්ඩායමකට එරෙහිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති ටස්කින් එක් පන්දුවාරයකට දල වශයෙන් 5.88ක් පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී තිබෙනවා.

වනිඳු හසරංග

දකුණතින් දඟපන්දු යවන වනිඳු හසරංග ජාත්‍යන්තර එක්දින තරග 18ක දී කඩුලු 18ක් දවාගෙන දස්කම් දක්වා තිබෙනවා. පන්දුවාරයකට දල වශයෙන් 5.26ක පමණ ලකුණු ප්‍රමාණයක් වනිඳු විසින් පිතිකරුවන්ට ලබා දී තිබෙන අතර ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීමේ ලෙස වාර්තා වී ඇත්තේ ලකුණු 15කට කඩුලු 3ක් බිඳ හෙලීමයි.

මුස්ටෆිසුර් රහමාන්

බංග්ලාදේශ වේගපන්දු බල ඇණිය සවිමත් කරන මුස්ටෆිසුර් රහමාන්  වයස අවුරුදු 25ක් පමණ වන සැලකිය යුතු මට්ටමක අත්දැකීම් තිබෙන ජවසම්පන්න ක්‍රීඩකයෙක් වන අතර ඔහු අවසන් වරට පැවැත්වුණු IPL විස්සයි විස්ස තරගාවලියේ දී ද ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණියා.

මොහු ජාත්‍යන්තර එක්දින තරග 64ක දී කඩුලු 118ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 23.27ක් ලෙස දැක්වෙනවා. මුස්ටෆිසුර් රහමාන් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 5.17ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර තිබෙනවා. 

වමතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 6/43ක්. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 9ක දී කඩුලු 15ක් රහමාන් විසින් දවාගෙන තිබෙනවා.

ඩකා තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩකා  පිටියේ මේ දක්වා එක්දින තරග 14ක් පවත්වා තිබෙනවා. ඉන් තරග තුනක ජය බංග්ලාදේශයට හිමිවන විට ඉතිරි තරග 11ම ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වනු ඇත.

කාලගුණය දෙස බැලීමේ දී මේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. එසේම තරගය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 31-37 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය. පිතිකරුවන්ගේ පිතිකරණ පාරාදීසයක් ලෙස මේ ක්‍රීඩාංගණය සැලකිය හැකි අතර පන්දු යවන්නන් අතරින් දඟපන්දු යවන්නන් හට මේ පිටිය වඩාත් හිතකර වේ යැයි අනුමානය කරනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, වනිඳු හසරංග, දසුන් ශානක, අෂේන් බණ්ඩාර, ඉසුරු උදාන, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.

බංග්ලාදේශ එක්දින සංචිතය (පළමු තරග දෙක සඳහා) – Tamim Iqbal (capt), Liton Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Mohammad Mithun, Mahmudullah, Afif Hossain, Mehidy Hasan Miraz, Mohammad Saifuddin, Taskin Ahmed, Mustafizur Rahman, Soumya Sarkar, Mosaddek Hossain, Mahedi Hasan, Shoriful Islam

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව –  දනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්.

බංග්ලාදේශය – Tamim Iqbal (capt), Liton Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Mahmudullah, Soumya Sarkar, Mosaddek Hossain, Mohammad Saifuddin, Mehidy Hasan Miraz, Taskin Ahmed, Mustafizur Rahman

අවසන් වශයෙන්

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 2157ක් සමඟ ප්‍රසාද ලකුණු 90ක් ලබා ගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 1652ක් සමඟ ප්‍රසාද ලකුණු 79ක් දිනා ගෙනයි.

ශ්‍රේණිගත කිරීම්වලින් නම් බංග්ලාදේශය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. 

එසේ සිදු කළහොත් මේ තරගය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති. තවද ශ්‍රී ලංකා කණ්ඩායම නව ඉදිරි සැලසුම් රැසක් තබාගෙන නව නායකත්වයක් සහ තරුණ ක්‍රීඩකයින් වෙත වැඩි බරක් තබා මේ දියත් කර තිබෙන නව සැලසුම් සාර්ථක වනු ඇතැයි බොහෝ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටිනවා.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<