ශෙහාන් ජයසූරිය Seattle Orcas සමඟ MLC පිටියට

Major League Cricket 2023

4745

ඇමරිකා එක්සත් ජනපදයේ දී පළමු වතාවට පැවැත්වෙන Major League Cricket තරගාවලියේ සිව්වැනි තරගය Seattle Orcas සහ San Francisco Unicorn කණ්ඩායම් අතර අද (16) පැවැත්වුනා.

මෙම තරගයේ දී Seattle Orcas නියෝජනය කරමින් හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ද තරග බිමට පිවිසුණා.

මීට පෙර තරගාවලියේ තෙවැනි තරගය ලෙස Seattle Orcas සහ Washington Freedom කණ්ඩායම් ඊයේ (15) ක්‍රීඩා කළ තරගයට ද ශෙහාන් සහභාගී වූ නමුත් ඔහුට එම තරගයේ දී දක්ෂතා අතරට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අද තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට Orcas නායක Wayne Parnell සමත් වූ අතර ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Seattle Orcas විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී Orcas ආරම්භක පිතිකරු Quinton de Kockගෙන් බලාපොරොත්තු වූ තරමේ සහයක් මෙම ඉනිම වෙත ලැබුණේ නැහැ. ඔහු ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට Haris Rauf විසින් සමත් වූ අතර, අනෙක් ආරම්භක පිතිකරුවා වූ Nauman Anwar විසින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසුණු ශෙහාන් ජයසූරිය විසින් එක් හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමඟින් පන්දු 27කින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු සහ Heinrich Klaasen විසින් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 47ක සබඳතාවක් ද පිහිටුවීමට සමත් වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Klaasen විසින් සිය IPL රිද්මය MLC පිටියට ද රැගෙන එමින් පන්දු 31කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 3කින් සිය ඉනිම වර්ණවත් කරගනිමිනුයි.

මීට අමතරව Shimron Hetmeyer විසින් Orcas ඉනිමට තවත් ලකුණු 36ක් එක් කිරීමට සමත් වුනා. එමෙන්ම San Francisco Unicorn වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට සමත් වූ Liam Plunkett විසින් කඩුලු 2ක් බිඳ හෙළුවා.

Orcas විසින් ලබා දුන් ලකුණු 178ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි Unicorns ආරම්භක පිතිකරු යුගලය වූ Matthew Wade සහ Finn Allen විසින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 3 පන්දු 2ක් තුළ ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ නමුත් පන්දු 10කින් ලකුණු 28ක් ලබා සිටි Finn Allenව දුවද්දී දවා ගැනීමට ශෙහාන් ජයසූරිය විසින් සමත් වීමෙන් එම සබඳතාව බිඳ වැටුණා.

(ශෙහාන් ජයසූරිය විසින් ලබා ගත් දුවද්දී දැවී යාම.)

එතැනින් පසුව Unicorns කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වෙමින් හොඳ සබඳතා පවත්වා ගැනීමට Orcas පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

Shadab Khan විසින් Unicorns ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා වෙමින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු ඉනිමේ අවසන් භාගය වන තෙක් තරගයේ වාසිය Unicorns වෙත හැරවීමට උත්සාහ කළත් එය සාර්ථක වුනේ නැහැ.

ඒ අනුව පන්දුවාර 17 පන්දු 5ක් තුළ Unicorns ඉනිමේ සියලු කඩුලු බිඳ හෙළීමට Orcas විසින් සමත් වූ අතර මෙහි දී Cameron Gannon විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව Imad Wasim සහ Andrew Tye අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

  • Seattle Orcas – 177/4 (20) Heinrich Klaasen 53, Shimron Hetmeyer 36, ශෙහාන් ජයසූරිය 33, Liam Plunkett 2/36
  • San Francisco Unicorn – 142/10 (17.5) Shadab Khan 37, Finn Allen 28, Cameron Gannon 4/23, Imad Wasim 2/24

මේ අනුව Seattle Orcas මෙම තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ වීරයා සම්මානය Heinrich Klaasen හට හිමි වුනා.

එමෙන්ම මෙතෙක් තරගාවලියේ ක්‍රීඩා කළ තරග 2ක ම ජයග්‍රහණය කළ Seattle Orcas කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ ද පෙරමුණ ගැනීමට සමත් වී සිටිනවා.

තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (17) Texas Super Kings සහ Washington Freedom කණ්ඩායම් අතරත්, Los Angeles Knight Riders සහ MI New York කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු විශේෂ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<