ලෝක ටෙස්ට් ශූරතාවලියේ මංගල උරගා බැලීම

Pakistan Tour of Sri Lanka 2023

1622

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පාකිස්තානය අංක 6 ස්ථානයේ සිටිමිනුත් සහ ශ්‍රී ලංකාව අංක 7 ස්ථානයේ සිටිමිනුත් මෙම තරගාවලිය හා එක් වෙනවා.  

මේ දක්වා දෙරට අතර ටෙස්ට් තරග 57ක් පවත්වා ඇති අතර ඉන් තරග 21ක ජයග්‍රහණය පාකිස්තානය සතු කර ගනිමින් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකාව සතුව ඇත්තේ තරග 17ක ජයග්‍රහණ පමණයි. ඉතිරි තරග 19 විසඳුමකින් තොරව අවසන් තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සහභාගී වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සමඟින් ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා.  

ඒ අතර විශේෂිත වන්නේ යොවුන් ක්‍රීඩකයන් වන ලක්ෂිත මනසිංහ සහ ඩිල්ශාන් මධුශංක  සමඟ පැතුම් නිස්සංක ද මෙම කණ්ඩායම හා එක් වීමයි. පැතුම් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙන්නේ වසරකට පමණ කාලයකට පසුවයි. ඔහු අවසන් වරට ටෙස්ට් කණ්ඩායම හා එක් ව සිටියේ 2022 ජුලි මාසයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙරට සංචාරයේ දීයි. 

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ අයර්ලන්තය හා සමඟ ටෙස්ට් තරගාවලියට එක් වූ ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායක සහ දුෂාන් හේමන්ත මෙම සංචිතයට එක් කර නැහැ. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, නිශාන් මධුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම ඇතුළු පිරිසගෙන් සමන්විත ශක්තිමත් පිතිකරණ බලඇණියක් නම් කර තිබෙනවා. ඒ අතරින් වඩාත් සුදුසු පිතිකරුවන් 6 දෙනෙක් පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන කණ්ඩායමට එක් වේ යැයි සිතිය හැකි. 

මේ පිතිකරණ සංචිතයට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කෝඩුකාර ලක්ෂිත මනසිංහ ද ඇතුළත් විය හැකි. 23 හැවිරිදි වියේ පසුවෙන ලක්ෂිත, මේ දක්වා පළමු පෙළ තරග 37ක දී ලකුණු 1111ක් කඩුලු 124ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. 

එමෙන් ම ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් ද මේ තුන් ඉරියව් වර්ගීකරණයට ප්‍රවීණයන් ලෙසින් එක් වෙනවා.  

මේ දඟපන්දු යවන්නන් තිදෙනා අතරට ප්‍රභාත් ජයසූරිය සහ ප්‍රවීන් ජයවික්‍රම ද දඟපන්දු බලඇණියට එක් කර තිබෙනවා. මේ අතරින් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් සංචිතය හා කැඳවෙන්නේ වසරකට අධික කාලයකට පසුව වීම විශේෂත්වයක්. ප්‍රවීන් මේ දක්වා ටෙස්ට් තරග 5ක දී කඩුලු 25ක් ලබා ඇති අතර ඔහු අවසන් වරට සහභාගී වන්නේ 2022 වසරේ මැයි මාසයේ දී පැවති බංග්ලාදේශ සංචාරයටයි.  

වේගපන්දු බලඇණියේ වගකීම පැවරී ඇත්තේ කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුශංක වෙතයි.  

කසුන් සහ විශ්ව ටෙස්ට් තරග පිටියේ පළපුරුදු ක්‍රීඩකයන් වන අතර ඩිල්ශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින සහ විස්සයි විස්ස තරගවලට පමණයි. 22 හැවිරිදි වියේ පසුවෙන වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මධුශංක, මෙතෙක් පළමු පෙළ තරග 9ක දී කඩුලු 33ක් ලබා සිටිනවා. 

පාකිස්තානයට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, නිශාන් මධුශ්ක / සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක / විශ්ව ප්‍රනාන්දු  

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩ-ඉම් 

  • කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් ලකුණු 4000ක් ලබා ගැනීමට අවශ්‍ය තවත් ලකුණු 62ක් පමණයි.  
  • විශ්ව ප්‍රනාන්දුට ටෙස්ට් කඩුලු 50ක් දවා ගැනීමට අවශ්‍ය තවත් කඩුල්ලක් පමණයි.  
  • කසුන් රාජිතට ටෙස්ට් කඩුලු 50ක් දවා ගැනීමට අවශ්‍ය තවත් කඩුලු 6ක් පමණයි.  

පාකිස්තාන කණ්ඩායමේ සූදානම 

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරයේ යෙදෙන්නේ පසුගිය ජනවාරියේ දී පැවති නවසීලන්ත තරග සංචාරයෙන් පසුවයි. ඒ කෙසේ වෙතත් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා සමඟ පැවති තරගයේ දී තමන් ද මෙම තරගාවලියට හොඳින් සූදානම් වී ඇති බැව් ඒත්තු ගැන්වූවා 

එහි දී වඩාත් සටන්කාමී සහ බලවත් පිතිකරණ බලඇණියක් පාකිස්තානය සතු බැව් පෙන්නුම් කළා. එය ඉදිරි පෙළින් ආරම්භ වී එක සේ ම මැදිපෙළ දක්වා ම පවතින්නක්. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රතිවාදී පිතිකරණ බලඇණිය අඩපන කිරීම වෙනුවෙන් බලවත් වෙහෙසක් දැරීමට සිදු වෙනු ඇතැයි සිතිය හැකි.  

එමෙන් ම ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණියත්, පිතිකරුවන්ට නොදෙවෙනි අයුරින් ක්‍රීඩා කරනු දක්නට ලැබුවා. විශේෂයෙන් ම වේගපන්දු යවන්නන් අපේ ක්‍රීඩකයන්ට වැඩි පීඩනයක් දෙනු ඇතැයි සිතිය හැකි.  

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කෙරෙන පාකිස්තාන කණ්ඩායම: Babar Azam (නායක), Abdullah Shafique, Imam-ul-Haq, Shan Masood, Saud Shakeel, Salman Ali Agha, Sarfaraz Ahmed (කඩුලු රකින්නා), Mohammad Rizwan, Aamer Jamal, Shaheen Afridi, Hasan Ali. 

අවධානය යොමු කළ යුතු පාකිස්තාන ක්‍රීඩකයන් 

Babar Azam 

28 වැනි වියේ පසුවෙන පාකිස්තාන නායක Babar Azam ටෙස්ට් තරග 18කට නායකත්වය දී ඇති අතර එම තරගවලින් තරග 8ක් ජයග්‍රහණය කරා මෙහෙයවද්දී තරග 6ක් පරාජය වී තිබෙනවා. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 4ක්. 

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 47කට ක්‍රීඩා කරමින් ශතක 9ක් සහ අර්ධ ශතක 26ක් සමඟින් ලකුණු 3989ක් ලබා සිටින අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 6ක ඉනිම් 11ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 572ක් ලබා තිබෙනවා.  

ඔහු අවසන් වරට නිමා කළ ටෙස්ට් තරග 5ක ඉනිම් 10ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 574ක් ලබා සිටිනවා.  

Shan Masood 

ඉදිරි පෙළ පිතිකරණ භූමිකාවේ ප්‍රබල වමත් ක්‍රීඩකයෙක් වන 33 හැවිරිදි වියේ පසුවෙන Shan Masood නිමා වූ පුහුණු තරගයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් තමන්ගේ තරම කියා පෑවා.  

ඔහු මේ දක්වා ටෙස්ට් තරග 28ක ඉනිම් 53ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1500ක් ලබා සිටිනවා. ඉන් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 381ක් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. 

Saud Shakeel 

27 වැනි වියේ පසුවෙන Saud Shakeel ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක් වෙන පළමු අවස්ථාවයි මේ. මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ ඔහු නිමා වූ පුහුණු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වෙනවා.  

පාකිස්තානය වෙනුවෙන් මේ දක්වා ටෙස්ට් තරග 5ක ඉනිම් 10ක දී පිටියට පිවිස ඇති Saud Shakeel ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 580ක් ලබා තිබෙනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 72.5ක් 

Shaheen Afridi 

කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා වන 23 හැවිරිදි වියේ පසුවෙන Shaheen Afridi මෙම සංචාරය හා එක්වෙන්නේ ටෙස්ට් තරග 25කට සහභාගී වෙමින් කඩුලු  99ක් ලබා ගනිමින්. ඔහු නිමා වූ පුහුණු තරගයේ දී ද කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 3කට එක් වී ඇති Shaheen Afridi එහි දී කඩුලු 12ක් දවා ගැනීමට සමත් වෙනවා.  

Hasan Ali 

29 හැවිරිදි වියේ පසුවෙන Hasan Ali කණ්ඩායම හා එක්වෙන්නේ වේගපන්දු යවන්නෙක් ලෙසයි. මේ දක්වා ටෙස්ට් තරග 22කට සහභාගී වී ඇති Hasan Ali කඩුලු 78ක් ලබා සිටිනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 3ක දී පිටියේ සක්‍රීය වී ඇති Hasan Ali දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 6ක්. නිමා වූ පුහුණු තරගයේ දී කඩුලු 3ක් දවා ගැනීමට ද ඔහු සමත් වූවා.  

රිදී ජුබිලිය සමරන ගාල්ල ක්‍රීඩාංගණය 

1998 ජුනි මස නවසීලන්තය සමඟින් ටෙස්ට් තරගයකට සත්කාරකත්වය ලබා දෙමින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත්වූ ගාල්ල ක්‍රීඩාංගණය මේ ගෙවා දමන්නේ 25 වැනි රිදී ජුබිලි වසරයි.  

මේ දක්වා මෙහි ටෙස්ට් තරග 43ක් පවත්වා ඇති අතර ඒ සෑම තරගයක ම සත්කාරකත්වය දරා ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඉන් තරග 25ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර තරග 12ක් පරාජය වී තවත් තරග 6ක් විසඳුමකින් තොරව අවසන් ව තිබේ.  

ඒ අතරින් පාකිස්තානය සමඟ තරග 7කට ගාල්ලේ දී සහභාගී වී ඇති අතර ඉන් තරග 3ක් ඔවුන් ජයග්‍රහණය කරද්දී ඉතිරි තරග 4 ජය ශ්‍රී ලංකාව සතු වෙනවා. කෙසේ වෙතත් 2014 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරග 16ක් පවත්වා ඇති අතර එම තරගවල දී කුමන හෝ කණ්ඩායමකට ජයග්‍රහණය අත් කරමින් විසඳුමක් ලබා දීම වීම විශේෂත්වයක්. 

මෙම තරගාවලිය 2023-2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ද ඇතුලත් වන අතර ඔවුනොවුන් ඊට එක් වන පළමු තරගාවලිය වන්නේ ද මෙයයි. එබැවින් දෙරට ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ මංගල තරගයේ දී ම වාසිදායක අවසානයක් උදා ගැනීමට උත්සුක වනු නොඅනුමානයි. 

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<