Moors – Ace Capital අවසන් මහා තරගයට පෙර

Major Club U23 Tournament

120
Major Club U23 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ Moors ක්‍රීඩා සමාජය සහ Ace Capital ක්‍රිකට් සමාජය අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (04) සහ අනිද්දා (05) හැව්ලොක් පෙදෙස Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

2023 වසරේ ද වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ Moors ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ පළමු වැනි අවසන් පූර්ව තරගයේ දී පෙර තරගාවලියේ අනුශූරයන් වූ Ragama ක්‍රිකට් සමාජයට වඩා ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සමත් වෙමින් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

2 වැනි අවසන් පූර්ව තරගයේ දී Colts ක්‍රිකට් සමාජයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් Ace Capital ක්‍රිකට් සමාජය එම අන්තයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර මෙම කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ පළමු වටයේ දී A කාණ්ඩය නියෝජනය කළ කණ්ඩායම් වීම කැපී පෙණෙනවා.

මේ වසර මුල දී Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ Ace Capital කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම 23න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම ද විශේෂත්වයක්.

තරගාවලියේ අපරාජිත ව සිටිමින් මෙතෙක් මේ ගමන ආ කණ්ඩායම් ද්විත්වයෙන් Moors කණ්ඩායමේ නායකයා ලෙස ජනිශ්ක පෙරේරා කටයුතු කරන අතර ඔහුගේ උප නායකයා ලෙසින් කටයුතු කරන්නේ ඔමේෂ් මෙන්ඩිස්.

Ace Capital ක්‍රිකට් සමාජය වනුජ සහන් විසින් මෙහෙයවනු ලබන අතර ඔහුගේ උප නායකයා ලෙසින් කටයුතු කරන්නේ සකුණ ලියනගේ.

Moors ක්‍රීඩා සමාජය

කණ්ඩායමේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වීමට ආරම්භක පිතිකරුවන් වූ රවිශාන් ද සිල්වා සහ උප නායක ඔමේෂ් මෙන්ඩිස් සමත් වෙනවා. දකුණත් පිතිකරු රවිශාන් ද සිල්වා තරග 9ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 458ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

වමත් පිතිකරු ඔමේෂ් මෙන්ඩිස් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණ සංඛ්‍යාව 435ක්. ඔහු Moors නායක ජනිශ්ක පෙරේරා විදෙස් සංචාරයක යෙදී සිටිය දී කණ්ඩායමට නායකත්වය දෙමින් ශතකය වාර්තා කිරීම කැපී පෙණුනා.

ඔවුන් දෙදෙනාට අමතර ව යෙසිත් රූපසිංහ තරග 9ක දී ලකුණු 498ක් සහ කඩුලු 32ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතුරින් කැපී පෙණෙන මෙහෙවරක නිරත වූවා.

ඊට අමතර ව රොහාන් සංජය ද අර්ධ ශතකයක් සමඟින් ලකුණු 292ක් ද සහ කඩුලු 19ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පිතිකරු ලැයිස්තුවේ දී නායක ජනිශ්ක පෙරේරා තරග 5ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 316ක් ද සහ විශාර ප්‍රනාන්දු අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 289ක් ද ලබා ගනිමින් ද Moors කණ්ඩායමේ මේ ගමන වෙනුවෙන් දායකත්වය දැක් වූවා.

පන්දු යැවීමේ දී යෙසිත් රූපසිංහ සහ රොහාන් සංජය ට අමතර ව චාමික හීනටිගල (12) සහ සෙනිත හැළඹගේ (11) ද දක්ෂතා දැක් වූවා.

Moors ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය

 

ජනිශ්ක පෙරේරා (නායක), ඔමේෂ් මෙන්ඩිස්, රවිශාන් ද සිල්වා, ලොහාන් ද සොයිසා, විශාර ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සෙනිත හැළඹගේ, රොහාන් සංජය, යෙසිත් රූපසිංහ, චාමික හීනටිගල, හරිඳු ජයසේකර, හිවින් කෙනුල, තරිඳු දිලංක, ගරුක සංකේත්, ශ්‍රීතරන් සාරංගන්, සොනාල් අවදික, මෝහනරාසා කමල්රාජ් සහ පැතුම් මලිත.

Ace Capital ක්‍රිකට් සමාජය

කණ්ඩායමේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ හිරාන් ජයසුන්දර යි. ඔහු තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 461ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 51.22ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වීම කැපී පෙණෙනවා.

ඊට අමතර ව තරිඳු අමරසිංහ ද තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 438ක් ලබා ගන්නා ලද අතර සකුණ ලියනගේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 353ක් ලබා ගනිමින් පිතිකරුවන් අතුරින් පෙරමුණ ගන්නවා.

ඊට අමතර ව කණ්ඩායමේ සිටින අනෙක් ශතකලාභියා වූයේ වනුජ සහන්. ඔහු තරග 2කට පමණක් ක්‍රීඩා කළ අතර ලබා ගත් ලකුණු ප්‍රමාණය 157ක්. තීරක රණතුංග (183) සහ කවිඳු අමන්ත (180) ද පිතිකරුවන් ලෙසින්  Ace Capital කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී කණ්ඩායමේ වඩාත් කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූයේ රවීන් ද සිල්වා. ඔහු තරග 5ක දී කඩුලු 25ක් දවා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීය පන්දු යවන්නා බවට පත් වෙනවා. ඔහු පසුපස ම ගිය කවිඳු අමන්ත තරග 8ක දී කඩුලු 24ක් ලබා ගනිමින් මේ ගමනේ වැදගත් චරිතයක් බවට පත් වෙනවා.

ඊට අමතර ව දනාල් හේමානන්ද (17), සිනෙත් දිසානායක (13) සහ වනුජ සහන් (11) කඩුලු අතර සිටිමින් Ace Capital කණ්ඩායම මේ තත්ත්වයට ගෙන ඒමට දායකත්වය දැක් වූවා.

Ace Capital ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය

 

වනුජ සහන් (නායක), හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), තරිඳු අමරසිංහ, සකුණ ලියනගේ, තීරක රණතුංග, කවිඳු අමන්ත, රවීන් ද සිල්වා, දනාල් හේමානන්ද, අශාන් දිල්හාර, රවිඳු රත්නායක, දුමිඳු සෙව්මිණ, දිලන දම්සර, සසංක නිර්මාල්, මෙලන් හසංක, සිනෙත් දිසානායක, යෙසිත් කලුපහන, සහන් කෞශල්‍ය සහ සහන් දාබරේ.

Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<