ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට

Major League Cricket 2023

1665
Texas Super Kings vs Los Angeles Knight Riders 2023

ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන Major League Cricket T20 තරගාවලියේ පළමු තරගය Texas Super Kings සහ Los Angeles Knight Riders කණ්ඩායම් අතර අද (14) උදෑසන පැවැත්වුණා. 

මෙම තරගයේ දී හිටපු ලාංකික ක්‍රීඩක ලහිරු මිලන්ත ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩකයෙකු ලෙස Texas Super Kings නියෝජනය කිරීම විශේෂත්වයක්. 

මෙහි දී Knight Riders කණ්ඩායමේ නායක Sunil Narine විසින් කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට Super Kings වෙත ආරාධනා කළ අතර, ඒ අනුව MLC තරගාවලි ඉතිහාසයේ පළමු ඉනිම දියත් කිරීම සඳහා Devon Conway සහ Faf Du Plessis පිටියට පිවිසුණා. 

නමුත් නායක Plessis තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගිය අතර පසුව Conway සමඟ පිටියේ එකතු වීමට වරම් ලැබුණේ ලහිරු මිලන්ත හටයි. 

මෙහි දී මිලන්ත විසින් එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සමඟින් පන්දු 14කින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා. 

(Andre Russellගේ පන්දුවකට ලහිරු මිලන්ත විසින් එල්ල කළ දැවැන්ත හයේ පහර – මෙය MLC ඉතිහාසයේ එල්ල වූ පළමු හයේ පහර ලෙස සටහන් වුනා.) 

Ali Khanගේ පන්දුවක් හමුවේ මිලන්තගේ ඉනිම නිමා වුව ද Conway සහ පසුව පිටියට පිවිසි David Miller විසින් Super Kings ඉනිම ස්ථාවර කිරීමට සමත් වුනා. 

මෙහි දී MLC විස්සයි විස්ස ඉතිහාසයේ පළමු අර්ධ ශතකයේ අයිතිය තමා සතු කර ගත් Conway විසින් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතර David Miller විසින් ද Super Kings ඉනිමට තවත් අර්ධ ශතකයකින් දායක වෙමින් ලකුණු 61ක් ලබා ගත්තා. 

ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීමට Texas Super Kings සමත් වූ අතර එහි දී Los Angeles Knight Riders වෙනුවෙන් Ali Khan සහ Lockie Ferguson විසින් කඩුලු 2ක බැගින් බිඳ හෙළුවා. 

ඒ අනුව Texas විසින් ලබා දුන් ලකුණු 182ක ඉලක්කය හඹා යාමට Los Angeles ආරම්භක පිතිකරු යුගලය වූ Martin Guptill සහ Unmukt Chand පිටියට පිවිසුණු නමුත් ඔවුන්ගේ ආරම්භය එතරම් සාර්ථක වුනේ නැහැ. 

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 5ම ලකුණු 56ක් තුළ බිඳ වැටුණු අතර, ඉන්පසුව පිටියේ එක් වූ Andre Russell සහ නායක Sunil Narine විසින් ඉනිම ස්ථාවර කිරීමට යම් උත්සාහයක් දැරුවා. නමුත් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 103ක් වන විට Narine දැවී යාමත් සමඟ Los Angeles ඉනිම ඉතා ඉක්මනින් අවසානය කරා ළඟා වුනා. 

Los Angeles Knight Riders ඉනිම පන්දුවාර 14ක් තුළ ලකුණු 112කට සීමා වූ අතර එහි දී ඔවුන්ගේ වැඩි ම ලකුණු ලාභියා ලෙස සටහන් වුනේ වේගවත් ලකුණු 55ක් ලබා ගත් Andre Russellගේ නමයි. 

  • Texas Super Kings – 181/6 (20) David Miller 61, Devon Conway 55, Ali Khan 2/40, Lockie Ferguson 2/23 
  • Los Angeles Knight Riders – 112/10 (14) Andre Russell 55, Jaskaran Malhotra 22, Mohammad Mohsin 4/8, Rusty Theron 2/16 

මේ අනුව MLC තරගාවලියේ පැවැත්වුණු පළමු තරගයෙන් ලකුණු 69ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Texas Super Kings කණ්ඩායම සමත් වුනා. 

එමෙන්ම මෙම තරගයේ වීරයා සම්මානය හිමි වුනේ අර්ධ ශතක ලාභී David Miller හටයි. 

මේ අතර තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (15) MI New York සහ San Francisco Unicorn කණ්ඩායම් අතරත්, Seattle Orcas සහ Washington Freedom කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම මෙම තරග වල දී ද ශ්‍රී ලංකා නියෝජනයක් කිහිපයක් ම දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව අනුමාන කළ හැකියි. 

MLC තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<