ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි මාස තුනට තරගාවලි තුනක්

825

ඉදිරි මාස තුනක කාලය තුලදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්ය බහුල තරග කාලසටහනක් ලැබී තිබෙන අතර එහිදී බංග්ලාදේශය, එංගලන්තය සහ ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට සූදානමින් සිටිනවා. 

ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය සඳහා ඇතුලත් වන එක්දින තරගාවලි තුනක්ද මේ තරග සංචාර අතර තිබෙන අතර තරගාවලි සියල්ලම ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙනු ඇති නමුත්, එංගලන්ත තරගාවලිය සඳහා යම් ආකාරයක ප්‍රේක්ෂක ප්‍රමාණයක් සහභාගී වීමට වැඩි ඉඩක් තිබෙනවා. 

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 16 වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් දින තුනක නිරෝධායන කාලයක් පසුකොට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත අතර එක්දින තරග තුනකින් සමන්විත  බංග්ලාදේශ තරගාවලිය මැයි මස 28 වැනිදා අවසන් වීමට නියමිතව තිබෙනවා. 

එම බංග්ලාදේශ තරග සංචාරය අවසන් වුනු වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් මෙරටට පැමිණ ජූලි මස 12 වැනිදා වත්මන් ලෝක එක්දින ක්‍රිකට් ශූරයින් සමඟ තරග වැදීම වෙනුවෙන් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුලත් වනවා. එම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක් ඇතුලත් නිසාවෙන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ඒ ලබාගන්නා පෙර සූදානම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පිටිවහලක් වනු ඇත. 

එංගලන්තය තුල මේ වන විට කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් පාලනය කර තිබෙන නිසා එංගලන්ත ක්‍රිකට් බලධාරීන් යම් ප්‍රේක්ෂක ප්‍රමාණයක් එම තරගාවලිය සඳහා සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එය එසේ වුවහොත් කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමට පසුව ශ්‍රී ලංකාව යම් ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉදිරියේ දී ජාත්‍යන්තර තරගයක් සඳහා මුහුණ දෙනු ලබන පළමු අවස්ථාව එය වීමට වැඩි ඉඩක් තිබෙනවා. 

එම විදෙස් සංචාරයන් දෙකට පසුව ශ්‍රී ලංකාව නැවතත් සිය මව් රටට පැමිණ ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා සූදානම් විය යුතු වෙනවා. ඉන්දියාව එම තරගාවලිය සඳහා ඔවුන්ගේ දෙවන පෙළ කණ්ඩායමක් සහභාගී කරවීමට සූදානමින් සිටියත් එය ඉතාමත් ප්‍රබල සංචිතයක් වනු නිසැකයි.

ThePapare.com වෙත වාර්තා වන අන්දමට ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජූලි මස 13 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙනවා. එසේම තරගාවලියේ තරග සියල්ලම දැනට නවීකරණ කටයුතු අවසන් කර තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට දැනට සැලසුම් කර තිබෙන අතර එය එසේ සිදුවුවහොත් ආර්. ප්‍රේමදාස පිටියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට පසුව වීම සුවිශේෂී වනවා. 

තවද ඉන්දීය තරගාවලිය අවසන් වූ වහාම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය සූදානමින් පසුවන බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය

මැයි 23 – පළමු එක්දින තරගය – ඩකා හිදී 

මැයි 25 – දෙවන එක්දින තරගය – ඩකා හිදී 

මැයි  28 – තෙවන එක්දින තරගය – ඩකා හිදී 

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය

ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff

ජුනි 24 – දෙවන විස්සයි විස්ස තරගය – Cardiff

ජුනි 26 – තුන්වන විස්සයි විස්ස තරගය – Southampton හිදී

ජුනි 29 – පළමු එක්දින තරගය – Durham

ජූලි 1 – දෙවන එක්දින තරගය – London

ජූලි 4 – තෙවන එක්දින තරගය – Bristol

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 

ජූලි 13 – පළමු එක්දින තරගය – කොළඹදී

ජූලි 16 – දෙවන එක්දින තරගය – කොළඹදී

ජූලි 19 – තෙවන එක්දින තරගය – කොළඹදී

ජූලි 22 – පළමු විස්සයි විස්ස තරගය – කොළඹදී

ජූලි 24 – දෙවන විස්සයි විස්ස තරගය – කොළඹදී

ජූලි 27 – තෙවන විස්සයි විස්ස තරගය – කොළඹදී

*සැ.යු – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා අදාල නිල තරග කාලසටහන තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<