ටෙස්ට් පිටියේ අන්තිමයා, පළමුවැනියාට ගෙනා අයුරු

595
Chamila Gamage contributed to Praveen Jayawickramas

මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මෙතෙක් අවසන් ක්‍රීඩකයා ලෙසින් බෞතීස්ම ලැබූ ප්‍රවීන් ජයවික්‍රම, එහි ලැයිස්තු ගත වන්නේ 156 වැනි ක්‍රීඩකයා ලෙසින්. තම මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 178කට කඩුලු 11ක් දවා ගත් ප්‍රවින්, එවන් දක්ෂතාවක් කළ මෙරට පළමු ටෙස්ට් ක්‍රීඩකයා බවට පත් වූයේ කාගේත් කතා බහට ලක්වෙමින්. 

ප්‍රවීන්ගේ මේ දක්ෂතාව මීට වසර 8කට පමණ ඉහත දී දුටුවෝ බොහෝ දෙනෙකි. ඔවුන් අතරින් චමිල ගමගේට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග 7කට ක්‍රීඩා කර ඇති චමිල මෙරට පළමු පෙළ ක්‍රිකට් තරග 114කට මුහුණ දෙමින් කඩුලු 398ක් ලබා ගනිමින් එවන් දක්ෂතාවන් කළ මෙරට වේගපන්දු යවන්නන් අතර පළමු ක්‍රීඩකයන් 5 දෙනා අතර රැඳී සිටිනවා. එමෙන් ම තමන් ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ දී පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසත් සහ ලොව එවන් දක්ෂතාවක් කළ 13 වැනියා බවට ද පත් වූවා. 

දකුණතින් මද වේගපන්දු යවන්නෙක් ලෙසින් ක්‍රිකට් පිටියේ බොහෝ සමරු සටහන් තැබූ චමිල පළමුවෙන් ක්‍රිකට් හදාරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඊට පස්සේ ඔහු පළමු පෙළ ක්‍රිකට් සඳහා එක් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමඟ. දරුවන් දෙනෙක්ගේ ආදරණීය පියෙක් වන චමිල, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වයස අවුරුදු 19න් පහළ වේගපන්දු පුහුණුකරු ලෙසින් සේවය කරනවා.

Chamila Gamage
චමිල තම ආදරණීයයන් සමඟ

“මම මේ කියන්නේ 2013 විතර කතාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මම මුලින් ම එක් වුනේ දිස්ත්‍රික් පුහුණුකරු තනතුරත් එක්ක. කළුතර ප්‍රදේශය තමයි මට බාර වුනේ. එතැන දී මට විශේෂයෙන් ම පැවරුණේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ දිස්ත්‍රික් සංචිත පිහිටුවීම. ඒ දේවල් කරගෙන ඉන්න කොට වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායමක් හදන්න ලැබුණා. එතැන දී තමයි මට ප්‍රවීන් ව මුලින් ම හමුවෙන්නේ. ප්‍රවීන් විතරක් නෙමේ පැතුම් නිස්සංකත් හමුවෙන්නෙ එතැන දී” චමිල ගමගේ පැවසුවා. 

ඒ හමුවීම මේ කතාවේ ආරම්භය වේ යැයි එදා චමිල හෝ ප්‍රවීන් සිතා සිටින්නට නැත. 

“නමුත් මම ප්‍රවීන්ගෙන් වගේ ම පැතුම්ගෙත් විශේෂ දක්ෂතා දැක්කා. ප්‍රවීන් සිරිකුරුසෙ හිටියේ. පැතුම් කළුතර විද්‍යාලයේ. ඒ වෙද්දී සිරිකුරුසෙ ක්‍රිකට් බැලුවේ නිමල් දාබරේ සහ නෙවිල් වීරසේකර. ඔවුන් ප්‍රවීන් ව හොඳ මට්ටමකට ගෙනත් තිබුණා. ඒක මට පහසුවක් වුනා. ප්‍රවින්ගේ ඒ දක්ෂතා නිසා අපි දිස්ත්‍රික් කණ්ඩායමට ප්‍රවීන් ව තෝර ගත්තා. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වුනේ ලංකා ද සිල්වා. අපේ ඒ තෝරා ගැනීම වරදක් වුනේ නැහැ. ප්‍රවීන් ඒ තරගාවලියේ Best Bowler වෙනවා.”

එය ප්‍රවීන් තම ක්‍රිකට් ජීවිතයේ ලද පළමු ඇගයීම වුනා. 

“ඊළඟ අවුරුද්දේ, 2014 මම උසස් වීමක් එක්ක කොළඹ එනවා. හැබැයි මගේ හිතෙන් ප්‍රවීන්වයි, පැතුම්වයි හලන්න බැරි වුනා. මොකද ඒ අවුරුද්ද ඇතුළත මේ දෙන්නගෙ දක්ෂතා ගැන මම පුදුම විදිහට පැහැදිලා හිටියේ. නමුත් මේ දෙන්නගෙම පාසල් ක්‍රීඩා කළේ පහළ තරගාවලියේ. ඔවුන්ට හොඳ තරගාවලියක, හොඳ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරවන්න ඕන කියන එක මගේ හිත කිව්වා. මම කළුතර ඉඳල කොළඹ එද්දී ඔවුන් දෙදෙනාගෙන් ම අහනවා කොළඹ ඉස්කෝලෙකට එන්න කැමති ද කියලා.”

ඒ අනුව චමිලගේ මැදිහත් වීම මත පැතුම් කොළඹ ඉසිපතන විද්‍යාලයටත්, ප්‍රවීන් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයටත් එක් වෙනවා.  

“ප්‍රවීන් එක පාරට ම කොළඹ එවන්න ගෙදරින් කැමති වුනේ නැහැ. මේ නිසා තමයි ප්‍රවීන් මොරටුව තෝර ගන්නේ. ඒ වෙද්දී සෙබස්තියන් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස හිටියේ නලින් විජේසිංහ. සෙබස්තියන් විද්‍යාලයේ සිටිද්දීත් ප්‍රවීන් ඉතා ඉහළ දක්ෂතා දැක්වූවා. මේ දක්ෂතාත් සමඟ ප්‍රවීන්ට ඉහළ ක්‍රිකට් එකක් ගහන්න හොඳට ම පුළුවන් කියන මතයේ මම හිටියා. ඒ නිසා මම නලින් එක්කත් කතා කරල ප්‍රවීන් 23න් පහළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්න ගුවන් හමුදා කණ්ඩායමට එක් කළා. මට එතැන හොඳ විශ්වාසයක් තිබුණා, මොකද මගෙත් ක්‍රීඩා සමාජය ඒක නිසා.”

එතැන් සිට ප්‍රවින් සාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරමින් සිටිය දී ම ශ්‍රී ලංකා ගුවන් හමුදා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම ද නියෝජනය කළා. ඒ වෙද්දී ප්‍රවීන්ට වයස අවුරුදු 17ක්. මේ කාලයේ ම ප්‍රවීන් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද වරම් ලබා ගත්තා. 

Praveen Jayawickramaප්‍රවීන් 2016 වසරේ මෙරට දී පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 10ක් ලබා ගනිමින් එම තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට ද පත් වෙනවා. එමෙන් ම 2016 වසරේ සිට 2018 වසර දක්වා වසර ත්‍රිත්වයක් වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග 30ක දී කඩුලු 50කට වැඩියෙන් දවා ගනිමින් එතෙක් මෙතෙක් එම දක්ෂතාව කළ පන්දු යවන්නන් අතර තෙවැනියා බවට පත් වෙනවා. ප්‍රවීන්ට ඉහළින් සිටින්නේ සචිත් පතිරණ සහ චතුර පීරිස් යන දෙදෙනා.  

මේ කාලයේ දී ප්‍රවීන්ගේ පුහුණුකරුවන් ලෙසින් වයස අවුරුදු 19න් පහළ එවකට ප්‍රධාන පුහුණුකරු රෝයි ඩයස්, දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු නිරෝෂන් බණ්ඩාරතිලක යන අය කටයුතු කළ අතර කනිෂ්ඨ සංචිත බාරව සිටි දඟ පන්දු පුහුණුකරුවන් වූ පියල් විජේතුංග සහ අජිත් ඒකනායකගේ ද ගුරුහුරුකම් ලැබුවා. 

මේ කාලය වෙද්දී චමිලගේ රැකියාවේ ද වෙනසක් වී තිබුණා. ඔහු 2015 වසරේ සිට පුහුණුකරුවන්ගේ අධ්‍යාපනික අංශයේ සේවය කළේ. 

“මේ නිසා මට වැඩිය ක්‍රීඩාංගණවලට යන්න ලැබුණෙ නැහැ. නමුත් විශේෂ වූ තරග බලන්න මම එදා සිට අදටත් යනවා. ඒ තරගවල ක්‍රීඩකයන් සංසන්දනය කරමින් ඔවුන්ගේ දක්ෂතා ගැන කතා කරන්න, ඔවුන්ව ඉහළට ගේන්න අප කළ යුත්තේ කුමක්ද කියන එක අපේ පුහුණුවීම්වල දී සාකච්ඡා කළා. මේ හැම තැනක දී ම මට ප්‍රවීන්ගේ පන්දු යැවීමත්, පැතුම්ගේ පිති හරඹයත් විශේෂ වුනා. ඒ වගේම මම කොළඹ ආවත් ප්‍රවීන් සහ පැතුම් සමඟ තිබුණු සබඳතා ඒ විදිහට ම තිබුණා. මොකක් හරි ප්‍රශ්නයක දී මේ දෙන්න ම මගෙන් අහන පුරුද්දක් තිබුණා. ඔවුන් Club එකක් මාරු කළත් මාරු කළේ මගෙන් අහලා. ඒ තරමට මේ දෙන්නට මම ගැන විශාල විශ්වාසයක් ඇති වෙලා තිබුණා.” 

පාසල් කාලයෙන් පසුව ප්‍රවීන් 2018 වසරේ දී එස්. එස්. සී. කණ්ඩායම ද 2019 වසරේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ද නියෝජනය කරනවා. කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරද්දී 23න් පහළ තරගාවලියේ තරග 7ක දී කඩුලු 35ක් දවා ගැනීමට ප්‍රවීන් සමත් වෙනවා. ඉන් අනතුරුව සිට මේ දක්වා ප්‍රවීන්ගේ නවාතැන වෙන්නේ මුවර්ස් ක්‍රීඩා සමාජය. 2020 වසරේ දී ඔහු තරග 6ක දී කඩුලු 31ක් ද නිමා වූ එක්දින තරගාවලියේ දී තරග 7ක දී කඩුලු 15ක් ද දවා ගැනීමට සමත් වෙනවා.

“ක්‍රිකට් පුහුණු කරවනවා කියන්නේ Technic උගන්වන එක විතරක් නෙමේ. ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය ඉහළින් තබා ගන්නේ කොහොමද කියන දේත් ඇතුළත්. ඒ වගේ ම ඔවුන්ගේ Life Style එක ගැන දැන ගැනීමත් වැදගත්. මේ දේවල්වලින් ප්‍රවීන් අනෙක් ක්‍රීඩකයන්ට වඩා ගොඩක් ඉහළින් හිටියා. මැච් එකක් ඉවර වුනාට පස්සේ ඒ ගැන කතා කරන්න, විශේෂයෙන් ම තරගයක් හොඳට නොකරපු දවස්වලට ඒ ගැන කතා කරන්න ප්‍රවීන් පටන් ගත්තා. සාමාන්‍ය ජීවිතයේ එදි-නෙදා දේවල් පවා අපි කතා කළා. අවුරුදු 8ක් ම අපි මේ විදිහට කතා කළා.”

මේ කුමන කතාවක් කළ ද ප්‍රවීන් එක්තරා කරුණක් සම්බන්ධයෙන් චමිල හා කතා නොකර සිටියා. ඒ ප්‍රවීන්ගේ වයසේ සහ ඔහුත් සමඟ එකට ක්‍රීඩා කරන බොහෝ දෙනෙක් එංගලන්ත සහ ඕස්ට්‍රේලියා ප්‍රාන්ත තරගාවලිවලට සහභාගී වෙද්දී ප්‍රවීන් ද ඒ අදහසේ සිටි බැව්. ඒ වෙන විට ප්‍රවීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදු සංචිතයක නොසිටීම ද ඊට හේතු වන්නට ඇත. 

“පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ දවසක ප්‍රවීන් කතා කරල මට කිවුවා, එයා එංගලන්තයේ යනවා කියලා. එතකොට මම ඒ ගැන කිසි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. ප්‍රවීන් සියල්ල ම සූදානම් කරගෙන හිටියේ. මට එකපාරට ම මොනවත් ම කියන්නත් බැහැ. මොකද ඒ වෙද්දී ප්‍රවීන් මට නොකීවත් ඔහුගේ ඒ අවශ්‍යතාව මම දැනගෙන හිටියා. මම ප්‍රවීන්ගේ ලොකු Talent එකක් දැක්කා. මෙයාගේ උසත් සමඟ අනික් අයට වඩා පන්දු යැවීමේ විශේෂත්වයක් දැක්කා. ශරීර අංග චලනයත් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන් කියන එක ගැන දැන හිටියා. ප්‍රවීන්ට වයස තියෙනවා. මම කිවුවා අපි ටිකක් ඉවසමු කියලා. නමුත් ප්‍රවීන් ඒ වෙද්දී සෑම දෙයක් ම සූදානම් කරගෙන හිටියේ. මට අවශ්‍ය වුනේ මේ ගමන නතර කරන්න. මම ප්‍රවීන්ට බැන්නා. ගියොත් නැවත කතා කරන්න එපා කියලත් කිවුවා. ඒ වගේ ම අම්මටත් අයියටත් මේ ගැන දොස් කිවුවා.”

ඒ දොස් කීම, ඵලදායක වෙනවා. ප්‍රවීන් එංගලන්ත ගමන නතර කරල මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තම ශක්තිය යොදවනවා. 

“ප්‍රවීන් රට යනවා කියල කිව්වහ ම මට මතක් වුනේ අර්ජුන අයියා (අර්ජුන රණතුංග) 2013 දී ප්‍රවීන්ගේ දක්ෂතා දැකල ‘හොඳ ක්‍රිකට් එකක් ගහයි’ කියල කියපු කතාව. ඒ වගේ ම මගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා, කවදාහරි දවසක ප්‍රවීන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ ගමනේ මූලික අඩිතාලම රට යන්න හිටි අවුරුද්දේ ම ප්‍රවීන්ට හිමි වෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් දඟපන්දු යවන්නන්ගේ සංචිතයට එක් වෙනවා. එතැන දී ප්‍රවීන් ගැන බලන්නේ සජීව වීරකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි. ඔවුන් දෙදෙනා තමයි අන්තිම මාස 2-3 ප්‍රවීන්ව මේ තත්ත්වයට ගෙනාවේ.”

Chamila Gamageප්‍රවීන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරගුළු ඇරෙන්නේ අහම්බෙන් වගේ. කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන්නා ආබාධයට ලක් වෙනවා. ඒ තැන සපුරන්න සිටි දඟපන්දු යවන්නා ද ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරනවා. ඒ තැන ලැබෙන්නේ ප්‍රවීන්ට.

“ප්‍රවීන් මේ පැමිණි ගමන දවසින් දෙකකින් ආ ගමනක් නෙමේ. ඔහුගේ දක්ෂතා පිටුපස ගොඩාක් පුහුණුකරුවෝ සිටියා. ඔහු ඒ සියලු දෙනාගෙන් හරි ම දේ අරගෙන තිබුණා. ඒක ඔහු ඉතාම ලස්සනට තමන්ගේ පළමු ටෙස්ට් තරගයේ දී ම කළමනාකරණය කරගෙන තිබුණා. ඒක ප්‍රවීන්ගේ පළමු ටෙස්ට් තරගය වූවත් ඔහු ආධුනිකයෙක් ලෙස සෙල්ලම් කරනවා මම කොතැනකදීවත් දැක්කේ නැහැ. ප්‍රවීන්ට ලැබුණ ඒ අවස්ථාව ඉතාමත් ම හොඳින්, කවුරුත් නොහිතපු විදිහට අභියෝගාත්මක බාර ගත්තා. එහෙම ක්‍රීඩකයන් බොහෝම විරලයි. ප්‍රවීන්ට තවමත් අවුරුදු 22යි. මම විශ්වාස කරනවා ඔහුට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි හැමෝගෙම බලාපොරොත්තුව ඒක” චමිල ගමගේ අප සමඟ කතාව අවසන් කරමින් පැවසුවා.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<