අවිශ්කට එක්දින සංචිතයේ දොර වැසෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021

317

ශ්‍රී ලංකා යොවුන්  දකුණත් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන්  ඉවත් කර තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ ආබාධය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් කිරීම සඳහා සුදුසු මට්ටමක නොතිබෙන නිසයි. 

වයස අවුරුදු 23ක් වන අවිශ්ක හට අවසන් වරට පැවති බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර තරග සංචාරය ද පාදයේ ආබාධයක් නිසාවෙන් මඟ හැරුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට පවත්වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම වෙනුවෙන් කිලෝමීටර දෙකක දුරක් මිනිත්තු 8කුත් තත්පර 35ක් ඇතුළත සම්පූර්ණ කළ යුතු අතර දැනගන්නට ලැබෙන විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව මීට සති දෙකකට පමණ ඉහත දී ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති පුහුණු සැසියක දී අවිශ්කට එම දුර සම්පූර්ණ කිරීම සඳහා අමතර විනාඩියකට ආසන්න කාලයක් වැය වී තිබෙනවා.

තවද බංග්ලාදේශය සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නිල ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හෙට (10) පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශයේ සත්කාරකත්වය සහිතව පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඩකා නුවර පිහිටි Sher-e-Bangladesh ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio Bubble) තුල කණ්ඩායම් දෙකම එක්දින තරගාවලියේ තරග 3ම ක්‍රීඩා කරන්නේ මේ ක්‍රීඩාංගණයේ දීමයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත වන අතර තරගාවලිය ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් (පිරිමි) ක්‍රිකට් තරගාවලියක් වනවා. 

ඒ නිසාවෙන් මේ තරගාවලිය තුල හැකි උපරිම දස්කම් පෙන්වා හැකි සෑම තරගයක්ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වන අතර එසේ නොවුනහොත් 2023 වසරේ දී පැවැත්වෙන ICC ලෝක ක්‍රිකට් කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනවා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2021 අපේක්ෂිත සංචිතය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අෂේන් බන්ඩාර, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, චාමික කරුණරත්න, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු. 

තරගාවලියේ කාලසටහන 

දිනය  තරගය  ක්‍රීඩාංගණය  වේලාව 
මැයි 21, 2021 එක්දින පුහුණු තරගය Intra-squad BKSP – SAVAR 9.30 AM
මැයි 23, 2021 පළමු එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 25, 2021 දෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි
මැයි 28, 2021 තෙවැනි එක්දින තරගය SBNCS, Dhaka දිවා රාත්‍රි 

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<