2016 ඩයලොග් චැම්පියන්ස් ලීග් ශූර කොළඹ පාපන්දු සමාජයට සහ අනු ශූර රිනවුන් ක්‍රීඩා සමාජයට නොසිතූ අභියෝගයක් එල්ල කරමින් සිටි පාපන්දු ලීග් සභාපති කුසලාන තරගාවලියේ ආරම්භක තරග දෙක ජය ගන්නට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ සිටි පාපන්දු සංකීර්ණයේ දී මෙම තරග පැවැත්විය.

ගුවන් ක්‍රීඩිකාවන්ට ගෝල හයක්

නාවික හමුදා සහ යුධ හමුදා කාන්තා කණ්ඩායම් අතර පැවති කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක දී ….

රිනවුන් සහ ජාවා ලේන්

චැම්පියන්ස් ලීග් තරගාවලියෙන් පළමු කාණ්ඩය දක්වා පහතට වැටුණු ජාවා ලේන් ක්‍රීඩා සමාජය තරගයේ අවසන් භාගය තුල රිනවුන් කණ්ඩායමෙන් එල්ල වූ පීඩනය මනාව පාලනය කර ගනිමින් මේ තරගය ගෝල 3 – 2ක් ලෙස ජය ගන්නට සමත් විය.

කොම්පඤ්ඤවීදිය කේන්ද්‍ර කර ගත් ජාවා ලේන් ක්‍රීඩා සමාජයට මේ තරගයේ පළමු වාසිය හිමි කර දුන්නේ, ඔවුන්ගේ අසාර්ථක චැම්පියන්ස් ලීග් ගමනේ එකම කැපී පෙනුණු ක්‍රීඩකයා වූ නවීන් ජූඩ් තරගයේ 23 වන මිනිත්තුවේ දී වාර්තා කල ආරම්භක ගෝලය මගිනුයි.

පළමු අර්ධය අවසන් වීමෙන් පසු, තරගයේ 65 වන මිනිත්තුවේ දී ජාවා ලේන් කණ්ඩායමේ ලකුණු වාසිය දෙගුණ කරමින් ගෝලයක් වාර්තා කරන්නට එම්මානුවෙල් උචේනා සමත් විය. රිනවුන් කණ්ඩායම ගෝල ලබා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අතරතුර තරගයේ 82 වන මිනිත්තුවේ දී 3 වන ගෝලයත් ජාවා ලේන් කණ්ඩායමට එක්වුණේ මොහොමඩ් අලීම් ප්‍රතිවාදී දැල් රකින්නා පසු කර පන්දුවක් නිවැරදි ඉලක්කයට එල්ල කිරීමත් සමඟයි.

රිනවුන් කණ්ඩායම අවසන් මිනිත්තු කිහිපය තුල තම තරග රිද්මය නැවතත් සොයාගෙන ඇති බවක් දක්නට ලැබුණේ 86 වන සහ 90 වන මිනිත්තු වල දී ගෝල වාර්තා කරමින් තරගයේ ගෝල පරතරය එකක් දක්වා අඩු කර ගන්නට සමත් වීමත් සමඟයි. මොහොමඩ් ෆසාල් පළමු ගෝලයේ අයිතියත් නායක මොහොමඩ් රිෆ්නාස් දෙවන ගෝලයේ අයිතියත් තමන් සතු කර ගන්නා ලදි. කෙසේ වෙතත් කොටහේන ප්‍රදේශය කේන්ද්‍ර කර ගත් රිනවුන් කණ්ඩායමට තරග පරාජයෙන් ගැලවීම සඳහා කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජාවා ලේන් කණ්ඩායමට ජයග්‍රහණයක් පමණක් නොව තම මානසික ශක්තිය වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් ද හිමි විය.

අවසන් ප්‍රතිඵලය: ජාවා ලේන් ක්‍රීඩා සමාජය 3 – 2 රිනවුන් ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්

  • ජාවා ලේන් – නවීන් ජූඩ් (23′), එම්මානුවෙල් උචේනා (65′), මොහොමඩ් අලීම් (82′)
  • රිනවුන් – මොහොමඩ් ෆසාල් (86′), මොහොමඩ් රිෆ්නාස් (90′)

කොළඹ පාපන්දු සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

පළමු දිනයේ පෙරළියක් සමඟින් ආරම්භ වූ තරගාවලියේ දෙවන දිනය වඩාත් විශාල පෙරළියක් සිදු වූ දිනයක් විය. ඩයලොග් චැම්පියන්ස් ලීග් ශූරයන් ලෙස අභිෂේක ලැබීමේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් කොළඹ පාපන්දු සමාජයට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හමුවේ පරාජයේ අවමානය විඳ ගැනීමට සිදු විය.

මොරගස්මුල්ල ක්‍රීඩකයන් ලබන වසරේ චැම්පියන්ස් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා ගනිමින් මේ වසරේ ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායමක් වන අතර එම අවසන් තරගයේ දී පෙලිකන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ප්‍රිමියර් ලීග් ශූරයන් බවට ද පත් විය. කොළඹ ක්‍රීඩකයන් තම වාසිය අවසන් මොහොතේ ගෝල බවට පරිවර්තනය කර ගැනීමට දක්වන දුර්වලතාව මෙම තරගයේදීත් ඔවුන්ගේ කඩා වැටීමට හේතුවක් වූ අතර මොරගස්මුල්ල කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක තරිඳු රුක්ෂාන්ගේ සුපිරි ක්‍රීඩා විලාශය ද මෙම තරගයේ දී කැපී පෙනුනි.

ඉසුරු ප්‍රියංකර තරගයේ 44 වන මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයක් සමඟින් පළමු අර්ධයේ වාසිය තමන් සතු කර ගත් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් 86 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කළ 19න් පහළ සුපිරි ක්‍රීඩක ඩිලාන් මධුශංක තරගයේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.

අවසන් ප්‍රතිඵලය: කොළඹ පාපන්දු සමාජය 0 – 2 මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්:

මොරගස්මුල්ල – ඉසුරු ප්‍රියංකර (44′), ඩිලාන් මධුශංක (86′)

ඉදිරි තරග

  • මාර්තු 18 (සෙනසුරාදා) ප. ව. 3. 45 : සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය – මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය
  • මාර්තු 19 (ඉරිදා) ප. ව. 3. 45 : ජාවා ලේන් ක්‍රීඩා සමාජය. – කුරේ ක්‍රීඩා සමාජය
 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට