ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්නට කොරෝනා

216

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන් ජයරත්න දෙදෙනා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ මූලික පුහුණු සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔවුන් දෙදෙනා ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ PCR පරීක්ෂණ කර තිබෙන අතර එහිදී ධනංජය සහ ඉෂාන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාව වහාම නිරෝධායන කටයුතු සහ අදාළ ප්‍රතිකාර කටයුතු සිදුකිරීම වෙනුවෙන් යොමුකර තිබෙනවා.

නිමා වූ LPL තරගාවලියේ දී කැපී පෙනන දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් පසුව අබුඩාබි T10 තරගාවලියක් පවා නියෝජනය කරමින් ඉතාමත් ඉක්මණින් ලෝකයාගේ අවධානය දිනා ගැනීමට සමත් වුනා. එසේම රාගම ක්‍රිකට් සමාජයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ඉෂාන් ජයරත්න ද පසුගිය දා නිමා වුනු දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලි වලදී ඉතාමත් හොඳ දස්කම් අතර සිටියා. 

බංග්ලාදේශය සමඟ ඉදිරියේ දී පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙන ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෛරසය සඳහා ගොදුරු වුනු අතර ඔහු පසුගිය 08 වැනිදා සම්පූර්ණයෙන් සුවය ලබා සිය නිරෝධායනය අවසන් කර තිබෙනවා. 

ධනංජය සහ ඉෂාන් යන දෙදෙනාම එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය වෙනුවෙන් නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය තුළ නොමැති නමුත් ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා මූලික පුහුණු එක්දින සංචිතයේ සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<