ICC නීති කඩ කළාට මෝර්ගන්ට තරග තහනමක්

205

එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ (14) දින පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම නිසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් හට එක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (15) දින තීරණය කර ඇත.

“එංගලන්තය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන එක මට නම් විනෝදයක්” – ගප්ටිල්

ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවති 2015 ලෝක කුසලාන …

එසේම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් හටද සිය තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පනවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසන පරිදි එංගලන්ත කණ්ඩායම, එක්දින ක්‍රිකට් තරගයක ඉනිමක් ක්‍රීඩා කිරීමට ගතවන සාමාන්‍ය තරග කාලය තුළ ක්‍රියාත්මක කර ඇත්තේ පන්දුවාර 48ක් පමණි. එනම් මේ දඩය පනවා ඇත්තේ පන්දුවාර දෙකක් යැවීමේ දී සිදුවූ ප්‍රමාදයටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩක සහ ඔවුන්ගේ සහායක නීතිරීති මාලාවේ 2.22.1 දරණ වගන්තිය යටතේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක පන්දුවාරයක් පමා වුවහොත් අදාළ කණ්ඩායම නියෝජනය කරමින් තරගයේ ක්‍රීඩාකළ සියලුම ක්‍රීඩකයින් හට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හැකිය. එසේම කණ්ඩායම් නායකයාගේ දඩය ක්‍රීඩකයින්ට ලැබෙන දඩ ප්‍රමාණයෙන් දෙගුණයක් වන බවද එහි වැඩිදුරටත් දක්වා ඇත.

ඒ නිසාවෙන් මෝර්ගන් හට එංගලන්තය හා පාකිස්තානය අතර මේ මස 17 වැනිදා නොටෝන්හැම් හිදී පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගය මඟ හැරෙනු ඇත.

ඔයින් මෝර්ගන් මීට පෙර ද එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර බාර්බඩෝස් හිදී පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයකදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීමේ වරදට හසුවූයේය.

එසේම එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයේ (14) දිනයේ පැවති තුන්වන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ දී ශතකයක් (ලකුණු 128) රැස් කිරීමට සමත් වෙමින් එංගලන්ත කණ්ඩායමේ ජය මාවත විවර කළ ජොනී බෙයාර්ස්ටෝව් ද ICC ක්‍රීඩක සහ ඔවුන්ගේ සහායක නීතිරීති මාලාවේ පළමු මට්ටමේ වරදක් සිදුකර තිබෙන නිසා ඔහුගේ නම ඉදිරියේ ඇති විනය වාර්තාව (disciplinary record) සඳහා එක් ලකුණක් එකතු කිරීමට ICCය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා A සමඟ සටනට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක්

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා…

ඒ සඳහා හේතුවූ සිදුවීම වූයේ ෆහීම් අෂ්රෆ් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු (බෙයාර්ස්ටෝව්) දැවී ගිය පසු කඩුල්ලට පිති පහරක් එල්ල කොට සිය ආවේගය පෙන්නුම් කරමින් ක්‍රීඩාගාරය වෙත යාමයි.

මෙම තරගයේ තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කළ මයිකල් ගෆ්, පෝල් රයිෆල් සහ තෙවන විනිසුරු ලෙස ක්‍රියා කරන ලද ක්‍රිස් ගැෆ්නි යන විනිසුරුවරුන් විසින් තරගය අවසන් වීමෙන් පසුව යොමු කළ චෝදනා පත්‍රය තරග තීරක ලෙස කටයුතු කළ රිචී රිචර්ඩ්සන් විසින් තහවුරු කොට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යවා තිබේ.


                          >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<