Mumbai Indians සමඟ දිගු ගමනක් යන්න මහේල Hundred අතහරී

6688

Mumbai Indians කණ්ඩායම් සමූහයේ නව තනතුරක් හිමි වීම නිසා කාර්‍යබහුල වී ඇති හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන Hundred තරගාවලියේ Southern Brave කණ්ඩායම් පුහුණුකාරිත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වනවා.

මහේල විසින් 2023 තරග වාරයේ දී Southern Brave හැර යාමට තීරණය කර ඇති අතර, ඔහු එම තීරණය ගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බරයේ දී Mumbai Indians කණ්ඩායම සහ ඔවුන්ට අනුබද්ධිත අනෙක් කණ්ඩායම් හී ගෝලීය ප්‍රධානී තනතුරට ඔහුව උසස් කිරීමෙන් අනතුරුවයි.

මහේල විසින් ලද නව තනතුරු ප්‍රකාරව ඔහු Mumbai Indians කණ්ඩායමේ මෙන්ම, MI Emirates (ILT20 තරගාවලියේ) සහ MI Cape Town (SA20) යන කණ්ඩායම් තුනේම පුහුණුකරුවන් සහ කාර්‍ය මණ්ඩලය සමඟ එක්ව ඒ ඒ කණ්ඩායම් වෙනුවෙන් “උපායමාර්ගික සැලසුම්” සෑදීමට එකතු වනු ඇත.

2017 වසරේ සිට මේ වන තෙක් ඔහු විසින් Mumbai Indians කණ්ඩායම තෙවරක් IPL ශූරතාවය තෙක් කැඳවා ගෙන යාමට ද සමත් වී තිබෙනවා.

එමෙන්ම සිය පළමු වතාවේ දී ම පුහුණුකරු ලෙස Hundred තරගාවලියේ ශූරතාවය ද Southern Brave කණ්ඩායමට (2021 වර්ෂයේ දී) දිනා දීමට මහේල සමත් වූ නමුත්, 2022 තරග වාරයේ දී ඔවුන්ගේ පන්දු යවන්නන්ට ඇති වූ ආබාධ තත්ව නිසා කණ්ඩායම් 8ක් අතරින් හිමි කර ගැනීමට හැකි වුනේ හත් වැනි ස්ථානයයි.

තවමත් මහේල Brave කණ්ඩායමෙන් නිල වශයෙන් ඉවත් වී නොමැති නමුත්, ඔහු පසුගිය සතියේ Brave කළමනාකාරිත්වය මුණ ගැසී තමන් Mumbai Indians සමඟ කාර්ය බහුල වීමට නියමිත බව ඔවුන්ට පැහැදිලි කර දී ඇත. එම නිසා Brave කළමනාකාරිත්වය විසින් මහේලගේ තනතුර වෙනුවෙන් මේ වන ආදේශක සොයමින් සිටින බව ESPNcricinfo විසින් වාර්තා කරනවා.

එමෙන්ම 2022 තරග වාරයේ Southern Brave කණ්ඩායමට පහළින් සිටි එකම කණ්ඩායම වන Welsh Fire කණ්ඩායම ද ඔවුන්ගේ හිටපු පුහුණුකරු Gary Kirstenගේ ඉවත් වීමෙන් පසු නව පුහුණුකරුවෙකු සොයමින් සිටින බවත් වාර්තා වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින උණුසුම් වන නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<