Ishan kishan සිය වාර්තාගත ඉනිමෙන් පසුව හැඟීම්බර වෙයි!

Bangladesh vs India ODI series 2022

541

ඊයේ (10) බංග්ලාදේශයට එරෙහිව පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ලබා ගත් වාර්තාගත ද්විත්ව ශතකයෙන් පසුව Ishan Kishan විසින් සිය හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ හැඟුම්බර අයුරින් බෙදා ගෙන තිබුණා.

ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පැවැත්වූ තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ඊයේ පැවැත්වුණු අතර එහි දී ඉන්දීය කඩුලු රකින පිතිකරු Ishan Kishan විසින් අනර්ඝ ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

එක්දින තරගයක ද්විත්ව ශතකයක් රැස් කළ සිව්වැනි ඉන්දියානුවා බවට පත් වෙමින් (ඔහුට පෙර Sachin Tendulkar, Rohit Sharma සහ Virender Sehwag ඉන්දියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ද්විත්ව ශතක රැස් කර තිබෙනවා.) පන්දු 131කින් ලකුණු 210ක් රැස් කර ගැනීමට සමත් වුනා.

එම ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 409ක් රැස් කළ අතර, තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 227ක අති දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ද ඉන්දියාව සමත් වුනා.

නමුත් මීට ප්‍රථම පැවති තරග දෙකම ජයග්‍රහණය කර තිබූ බංග්ලාදේශයට තරගාවලියේ ජයග්‍රහණය හිමි වූ අතර, Ishanගේ මෙම ඉනිම නිසා ඉදිරි එක්දින තරගාවලිවලට කණ්ඩායම තේරීමේ දී ඉන්දීය කළමනාකාරිත්වයට උභතෝකෝටික ගැටලුවකට මුහුණ දීමට සිදු වනු ඇත.

තරගාවලියේ දෙවැනි තරගයේ ඉන්දීය නායක Rohit Sharmaගේ මහපටැඟිල්ලේ ඇති වූ ආබාධයක් නිසා Ishanට ඊයේ තරගයට සහභාගී වීමට අවස්ථාව හිමි වුනා. මේ වන විටත් Shikhar Dhawan විසින් කණ්ඩායමේ ආරම්භ පිතිකරු භූමිකාවේ එක් අන්තයක් රැකගෙන සිටින අතර තවත් ආරම්භක පිතිකරුවෙකු වන Shubman Gill ද පසුගිය මාස කිහිපයේ ම තමන්ට ලැබුණු අවස්ථාවල දී නොකඩවා දස්කම් අතර රැඳීමට සමත් වුනා.

එවන් තරගකාරී වටපිටාවක් අස්සේ තමන්ට ලැබුණු අවස්ථාව දෝතින් ම බදා ගත් Ishan තරගයෙන් අනතුරුව twitter සටහනක් තබමින් සිය උණුසුම් හැඟීම් ‍රසිකයින් සම බෙදා ගත්තා.

“මට දැන් දැනෙන දේ වචනවලට හරවා ගන්න බැහැ, ඒත් මම උත්සාහ කරන්නම්. මම මට ලැබෙන ආදරණීය සුබ පැතුම්වලින් මුසපත් වෙලා ඉන්නේ. මෙය මගේ හදවතේ හැම දාම රැඳිලා තියෙන ඉනිමක් වේවි. මේ දවස මට කිසි දා අමතක නොවේවි. ඒ වගේම මේ මොහොතේ මතකය මම හැමදා ම මා සමගින් රැගෙන යාවි. හැමදේටම ස්තුතියි.”

Ishan Kishan සිය twitter ගිණුමේ එසේ සඳහන් කර තිබුණා.

ඒ අනුව තමන්ගේ මංගල එක්දින ශතකය ද්විත්ව ශතකයක් බවට හරවා ගත් ලොව පළමුවැන්නා බවට පත්වීමට Ishan Kishan ඊයේ සමත් වුනා.

මේ අතර Ishan විසින් ඊයේ මෙතෙක් කල් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු Chris Gayle සතුව තිබූ ලොව වේගවත් ම එක්දින ජාත්‍යන්තර ද්විත්ව ශතකයේ වාර්තාව තමන් සතු කර ගත්තේ පන්දු 126ක් පමණක් වැය කරමින් ලකුණු 200 කඩඉම පසු කරන අතරේ දීයී. Gayleට එම කඩඉම පසුකර යෑමට පන්දු 138ක් වැය වී තිබුණා.

එමෙන්ම Ishan විසින් හිටපු ඉන්දීය පිති කරු Virender Sehwagව අබිබවා යමින් ඉන්දියාව වෙනුවෙන් වේගවත් ම ලකුණු 150 ලබා ගැනීමේ වාර්තාව ද තමන් සතු කර ගැනීමට සමත් වුනා.

එමෙන්ම Ishan Kishanට අමතරව ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli විසින් ද සිය එක්දින ශතක ඉඩෝරයට තිත තබමින් පන්දු 91කින් ලකුණු 113ක් රැස් කිරීමට සමත් වුනේ ඔහුගේ 44 වැනි එක්දින ශතකය ලෙසයි.

  • ඉන්දියාව – 409/8 (50) (Ishan Kishan 210, Virat Kohli 113; Shakib Al Hasan 2-68)
  • බංග්ලාදේශය – 182 in (34) (Shakib Al Hasan 43; Shardul Thakur 3-30, Axar Patel 2-22)

දිනෙන් දින අලුත් වන ක්‍රීඩා ලෝකයේ නවමු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<