පවුල පෙරට; Warner නායකත්ව සිහිනය අත් හරී!

4194

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner විසින් තමන් හට ජීවිතාන්තය දක්වා පනවා තිබූ නායකත්ව තහනමට අභියෝග කිරීමට ගත් තීරණය අත් හැර දමා තිබෙනවා.

2018 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගය (කේප් ටවුන් හි පැවති තරගය) අතරතුර පන්දුව පළුදු කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ එවකට කණ්ඩායමේ උපනායකාව සිටි David Warner හට මාස දොළහක ක්‍රිකට් තරග තහනමක් ද, ජීවිතාන්තය දක්වා නායකත්ව තහනමක් ද පනවනු ලැබුවා. (ඔහුට අමතරව Cameron Bancroft  සහ Steve Smith දෙදෙනාට ද සිදුවීමට අදාලව දඬුවම් ලැබුවා.)

නමුත් පසුගිය දිනක David Warner විසින් අභියාචනයක් ඉදිරිපත් කරමින් තමන්ට පනවා ඇති නායකත්වය තහනම ඉවත් කරන මෙන් ඉල්ලා සිටි අතර, නැවතත් ඊයේ (06) දිනයේ දී තමන් එම අභියාචනය ඉල්ලා අස් කර ගන්නා බව Warner විසින් පවසා සිටියා.

තමන්ට තව දුරටත් තම පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායම් සාමාජිකයින් කම්පනයට පත් කිරීමට අවශ්‍ය නොවන බවත් Warner විසින් එහි දී අවධාරණය කර තිබුණා.

තවද එම අභියාචනය වෙනුවෙන් සිදු කරන පරීක්ෂණ සිදු වන ආකාරය පිළිබඳ “වැරදි නිවැරදි කර ගත්” ක්‍රීඩකයකු ලෙස තමන් කනගාටු වන බව ද ඔවු පවසා තිබෙනවා.

“උපදේශන සහයක විසින් කිසිදු පැහැදිලි අරමුණකින් තොරවම මා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළා. කනගාටුවට කරුණ නම් සමාලෝචන මණ්ඩලය (Review Panel) පවා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතියට පිටින් ක්‍රියා කිරීමයි.

එමෙන්ම Newlands හී පැවති තුන්වැනි ටෙස්ට් තරගයේ (කේප් ටවුන් තරගය) සිදු වූ දේ පිළිබඳ ප්‍රසිද්ධ නඩු විභහගයක් පැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය වී ඇති බව ද මට පෙනී යනවා.

ඔවුන්ගේ වචනවලින්ම කියනවා නම් ඔවුන්ට අවශ්‍ය වන්නේ “පවිත්‍ර කිරීමක්” සිදු කිරීමට ප්‍රසිද්ධ සංදර්ශනයක් පැවැත්වීමයි.

“මගේ පවුල ක්‍රිකට් ක්‍රීඩාවේ අපිරිසිදු රෙදි සෝදන යන්ත්‍රයක් බවට පත් කිරීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.”

තමන්ගේ අභියාචනය ඉල්ලා අස් කර ගැනීම පිළිබඳ ලිපියේ Warner එලෙස සඳහන් කර තිබුණා.

තවදුරටත් සිය කලකිරීම් පිළිබඳ Warner විසින් මෙසේ ලියා තිබුණා.

“සමාලෝචන මණ්ඩලයට සහය වන උපදේශකයා (නීතිවේදියා) 2018 වසරේ වූ සිදුවීම පිළිබඳ නැවත සොයා බැලීමට අධිෂ්ඨාන කරගෙන සිටි බව මට පෙනී ගිය අතර, මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් මම සහ මගේ පවුල තව දුරටත් අවමානයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ බව පෙනී යනවා.

ඒ නිසා කනගාටුවෙන් වුනත් මගේ අභියාචනය ඉල්ලා අස් කර ගැනීම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් මට නැහැ. මගේ මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන ආකාරය පිළිගනිමින් මගේ පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායම් සාමාජිකයින් තවදුරටත් කම්පනයට පත් කිරීමට සහ ඔවුන්ට බාධා කිරීමට මම සූදානම් නැහැ.”

“සමහර දේවල් ක්‍රිකට් වලටත් වඩා වැදගත්!”

දිනෙන් දින අලුත් වන ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<