Rohit Sharma විසින් Gayleගේ ලෝක වාර්තාව ඩැහැ ගනී

Bangladesh vs India ODI series 2022

8850
​Rohit Sharma

ඊයේ (07) බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගයේ ලකුණු 272ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය ඉනිම වරෙක ලකුණු 207කට කඩුලු 7ක් ලෙස දිස් වූ අතර, ඒ මොහොතේ ඉනිමේ 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ඉන්දීය නායක Rohit Sharma විසින් පන්දු 28කින් වේගවත් ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුනා.

එම ඉනිම අතරවාරයේ දී මෙතෙක් කල් සුපිරි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු Chris Gayleගේ නමට තිබූ ලෝක වාර්තාවක් ද තමන්ගේ කර ගැනීමට Sharma විසින් සමත් වුනා. නමුත් එම ඉනිම තරගයේ ජයග්‍රහණය බංග්ලාදේශයෙන් උදුරා ගැනීමට නම් ප්‍රමාණවත් වුනේ නැහැ.

“ඉන්දියාව තරගය පරාද වුනා තමයි, නමුත් Rohit Sharma අපේ හදවත් දිනා ගත්තා.”

තරගයෙන් අනතුරුව Twitter හරහා වැවි වශයෙන් දකින්නට ලැබෙන පණිවුඩය වුනේ එයයි.

ඊයේ බංගලාදේශය හමුවේ ලකුණු පහක අවාසනාවන්ත පරාජයක් උරුම කර ගැනීමට ඉන්දියාවට සිදු වුනත්, සිය මහපටැඟිල්ලේ ඇතිවී තිබූ තුවාලය ද නොසලකමින් පිටියට පිවිස දියත් කළ මෙම ප්‍රවේගකාරී ඉනිම වෙනුවෙන් Sharmaව බොහෝ අයගේ ඇගයීමට පාත්‍ර වුනා. පසුව Sharma පවසා තිබුණේ ඇඟිල්ල බිඳීමකට ලක් වී ඇති බව සහ තුවාලයට මැහුම් කිහිපයක් ම දමා ඇති බවයි.

Sharma මෙම ආබාධය නිසා පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ ඉන්දීය ඉනිමේ 43 වැනි පන්දුවාරයේ Shardul Thakur දැවී යාමෙන් පසුව වන අතර, ඔහුගේ පැමිණීමෙන් සුළු මොහොතකට පසු Deepak Chaharට ද පිටියෙන් ඉවත් වීමට සිදු වුනා. (ඒ වන විට ලකුණු තත්වය සඳහන් වුනේ 213/8 ක් ලෙසයි.)

එතැන් පටන් බිඳුණු ඇඟිල්ලක් ද සහිතව Sharma විසින් අනර්ඝ ඉනිමක් දියත් කළ අතර, පන්දුවාර 50 අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 9ක් දැවී ලකුණු 266ක් ලෙසයි. එහි දී Mustafizur Rahman විසින් යැවූ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවට ලකුණු 6ක් ලබා ගත යුතුව තිබූ නමුත් එතන දී Sharma අසාර්ථක වුනා.

Sharmaගේ මෙම ඉනිමට හතරේ පහර තුනක් සහ දැවැන්ත හයේ පහර පහක් අන්තර්ගත වූ අතර, මෙම ඉනිම අතරතුර තවත් විශාල කඩඉමක් පසු කරමින් ජාත්‍යන්තර තරගවල හයේ පහර 500 ඉක්මවා ගිය පළමු ඉන්දියානුවා බවට පත් වීමට ද Sharma සමත් වුනා.

එමෙන්ම ඔහු එවැනි දස්කමක් සිදු කළ ලොව දෙවැනි පිතිකරු ද වනවා. ලෝක පූජිත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayleට පමණක් දෙවැනි වෙමින් Sharma මේ වන විට ජාත්‍යන්තර තරග 428ක දී හයේ පහර 502ක් එල්ල කර තිබෙනවා.

ජාත්‍යන්තර තරග 483ක දී හයේ පහර 553ක් එල්ල කර ඇති Gayle මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින අතර, ඔහුට හයේ පහර 500 කඩඉම පසු කර යාමට තරග 447ක් වැය වුනා.

ඒ අනුව Sharma විසින් Gayleට වඩා තරග 19ක් අඩුවෙන් මෙම සංධිස්ථානය පසු කිරීමට සමත් වූ අතර, එය නව වාර්තාවක් ලෙස Sharmaගේ නම ඉදිරියෙන් ලියැවෙනු ඇත.

එමෙන්ම විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර එල්ල කර ඇති ක්‍රීඩකයා ලෙස ද Sharmaගේ නම වාර්තා පොත්වල ලියැවී ඇති අතර, එක්දින ජාත්‍යන්තර තරගවල දී ඔහු වැඩිම හයේ පහර එල්ල කර ඇති ක්‍රීඩක ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ සිටින්නේ හයේ පහර 255ක් එල්ල කරමිනුයි.

දිනෙන් දින අලුත් වන ක්‍රීඩාවෙ නවමු තොරතුරු ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<