අයර්ලන්ත – පාකිස්තාන T20 තරගය කල්යයි

383

තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ සැලසුම් කිරීමේ දී ඇති වූ ගැටලු නිසාවෙන් ජුනි  පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇත.

මෙම තරගාවලිය 2020 වසරේ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගත තත්වයේ ව්‍යාප්තිය නිසාවෙන් කල් දැමීමට අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කළා.

තරගාවලිය කල් දැමීමෙන් පසුව අයර්ලන්තය සතුව ඇති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ නිසාවෙන් මෙම තරගාවලිය එංගලන්තය තුළ පැවැත්වීමට තීරණයක් ගෙන තිබුණා.

නමුත් පකිස්තාන ක්‍රීඩකයන් නැවත සකස් කළ පකිස්තාන සුපිරි ලීගය සඳහා සහභාගී වීමට කටයුතු කිරීමත් එංගලන්තය තුළ ජාත්‍යන්තර තරගාවලි රැසක් පැවැත්වීමට සැලසුම් කිරීමත් නිසාවෙන් මෙම තරගාවලිය සඳහා නියමිත දින ලබා දීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ට හැකි වුනේ නැහැ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අයර්ලන්ත ක්‍රිකට් බලධාරි Richard Holdsworth ප්‍රකාශ කර සිටියේ සිය රට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග රැසක් පැවැත්වීමට නියමිතව ඇති බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළ බවයි.

“අපි ක්‍රීඩාංගණ දෙකක් සඳහා එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තත් ඔවුන් නැවත පැවසුවේ ජාත්‍යන්තර කණ්ඩායම් විශාල කණ්ඩායමක් තම රටට පැමිණෙන්න නියමිතයි කියලා. ඒ වගේම ජෛව ආරක්ෂිත බුබුළු සහ ක්‍රීඩාංගණ උපාංගයන් කළමනාකරණය අපහසුයි කියලා.

එය ඇත්තෙන්ම ලැජ්ජාවක්, විශේෂයෙන්ම ලෝක කුසලානයක් පැවැත්වෙන වසරක් වෙලත්. නමුත් ජූලි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව සහ අගෝස්තු මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරගාවලි පැවැත්වීමට අපි සූදානම්. ඒ වගේම අපි උත්සහ කරනවා මෙම තරගාවලිය නැවත වෙනත් දිනයක දී පවත්වන්න” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

තවත් ක්‍රිකට් පුවත්:  

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලිය නැවත් වරක් කල්දැමීමට සිදුව ඇතැයි ද ඔහු තහවුරු කළ අතර එම නිසාවෙන් අයර්ලන්ත කණ්ඩායමට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් බලාසිටීමට සිදු වනු ඇත.

“සෑම දෙනෙකුම පාහේ තරගාවලි නැවත සැලසුම් කරන නිසා අනාගත තරග සංචාර සැලසුම් කිරීම අවුල් ජාලයක් වෙලා. නිරෝධායන කාලසීමාවන් එකතු කරද්දී අනෙකුත් තරග සංචාර සැලසුම් කිරීම හැමෝටම ගැටලුවක් වෙලා. 

ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි කාලසටහන අවසන් වෙන්න කලින් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැපවී සිටින නමුත් එය දෙසැම්බර් මාසයේ දී නෙවෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<