පැතුම් නිස්සංකට බංග්ලාදේශ තරගාවලිය අහිමි වන ලකුණු

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරය 2021

474
Pathum Nissanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක පැතුම් නිස්සංක හට ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අහිමි වන බව වාර්තා වනවා. ඒ ඔහුට ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

පසුගිය සතියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් Antigua හි Sir Vivian Richard ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වුනා. 

Sunday Times පුවත්පත සමඟින් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මේ බව පවසා තිබෙනවා. 

එහි දී ඔහු පවසා සිටියේ බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට පෙර ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ ආබාධ පිළිබඳව ඇගයීමක් කළ යුතු බවයි.

“අපිට ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ ආබාධ ගැන බලන්න තියනවා. ලසිත් ඇඹුල්දෙණිය ආබාධයකට ලක්වෙලා ඉන්නේ. ඒ වගේම පැතුම් නිස්සංකත් ආබාධයකට ලක්වෙලා තියනවා. අපි අපේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂකගෙන් ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි සඳුදා අවසන් සංචිතය නම් කරන්න සැලසුම් කරලා තියනවා.” ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එහි දී පවසා සිටියා.

පැතුම් නිස්සංක කොදෙව් සංචාරයේ දී ජාතික කණ්ඩායමට පිවිසි අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දී ශතකයක් සහ දෙවැනි තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ඔහු සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වනවා. තරගාවලිය එළඹෙන අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් සංචාරයේ තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
අප්‍රේල් 17-18 පුහුණු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය 
අප්‍රේල් 21 සිට අප්‍රේල් 25 දක්වා පළමු ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
අප්‍රේල් 29 සිට මැයි 03 දක්වා දෙවන ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<