Jaiswalගේ කැපවීමට සංගාගෙන් ප්‍රශංසා!

IPL 2023

523
IPL 2023

ඊයේ (30) Mumbai Indians සමඟ පැවැත්වුණු තරගයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වූ Rajasthan Royals කණ්ඩායමේ ආරම්භක පිතිකරු Yashasvi Jaiswalගේ ඉනිම කුමාර් සංගක්කාර විසින් විශේෂ ඇගයීමකට ලක් කර තිබෙනවා.

ඊයේ දිනයේ Jaiswal විසින් පන්දු 62කට පමණක් මුහුණ දෙමින් ලකුණු 124ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම ඉනිම වෙනුවෙන් ඔහු හතරේ පහර 16ක් සහ හයේ පහර 8 එක්කර ගැනීමට සමත් වුනා.

එමෙන් ම වත්මන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සාර්ථක ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන Jofra Archer වැනි පන්දු යවන්නන් ව සතයකට මායිම් නොකර ඔහු මෙම ඉනිම ගොඩ නැංවීමට සමත් වීම බොහෝ දෙනෙකුගේ විශේෂ ඇගයීමට පාත්‍ර වුනා.

“ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි, ගොඩක් මහන්සි වෙලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහු පුහුණු වීම් සඳහා දැල් තුළ බොහෝ කාලයක් ගත කරන කෙනෙක්.”

Jaiswal විසින් ඊයේ දියත් කළ ඉනිමෙන් පසුව Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර විසින් Jaiswalගේ කැපවීම පිළිබඳ එසේ හෙළිදරව් කළා.

එමෙන් ම Jaiswal විසින් දැනට මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වී සිටින්නේ ඉනිම් 9ක් තුළ ලකුණු 428ක් ලබා ගනිමිනුයි. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 47.55ක් වැනි ඉහළ අගයක රැඳී තිබෙනවා.

ඔහු මෙය එක රැයින් උදා කර ගත් සාර්ථකත්වයක් නොවන බවයි සංගක්කාර විසින් පවසන්නේ.

“ඔහු අප සමඟ වසර තුන – හතරක පමණ කාලයක් එකට වැඩ කළා. ඒකෙන් පේන්නේ ඔහු ඉතා ම අවධානයෙන් සිය ගමන යන බව. ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු මුළු ඉනිම පුරා ම පාහේ පිතිකරණයේ යෙදුණා.

ඔහුට ලොකු ගමනක් යන්න තියෙනවා, අපි සමඟ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර තුලත්.

ඔහුට කරන්න තියෙන්නේ දිගට ම ලකුණු රැස් කරමින් දොරට තට්ටු කරමින් හිඳීම පමණයි.”

තමන් යටතේ හැදී වැඩෙන මේ 21 හැවිරිදි යෞවනයා පිළිබඳ සංගා දැඩි විශ්වාසයකින් යුතු ව සිය අදහස් පළ කරනවා.

එමෙන් ම තරගාවලිය පුරාවට ම ආරම්භක පිතිකරුවෙකුගේ වගකීම මනා ලෙස ඉටු කිරීමට සමත් වී ඇති Jaiswal මෙතෙක් තරගාවලියේ Power-Play පන්දුවාර වල දී 165.69ක ප්‍රහාරාත්මක වේගයකින් ලකුණු ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

Yashasvi Jaiswal යනු තරගයක ස්වභාවය හොඳින් තේරුම් ගනිමින් ඊට අනුගත වෙමින් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති අයකු බවත්, ඉතා ඉක්මනින් ඉගෙන ගනිමින් දිනෙන් දින ම දියුණුවට පත් වන්නකු බවත් සංගා විසින් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබුණා.

කෙසේ වෙතත් ඊයේ Jaiswalගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 124 වටිනාකමට දැඩි පහරක් එල්ල කරමින් රාජස්තානය විසින් ලබා දුන් ලකුණු 213ක ඉලක්කය හඹා යෑමට Mumbai Indians සමත් වුනා.

මෙහි දී මුම්බායි වෙනුවෙන් තරගයට විශිෂ්ට නිමාවක් ලබා දීමට සමත් වූ Tim David විසින් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ තමන්ට මේ ආකාරයෙන් තරගයක් අවසන් කිරීමේ දැඩි අවශ්‍යතාවක් කලක පටන් ම තිබූ බවයි.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<