Shankar සහ Little ගුජරාටය නැවතත් අංක එකට ඔසවයි!

IPL 2023

1472

2023 IPL තරගාවලියේ 39 වැනි තරගය Gujarat Titans සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර අද (29) පැවැත්වුනා.

මෙම තරගයේ දී Kolkata Knight Riders කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට Gujarat Titans සමත් වූ අතර, ඒ සමඟින් මෙවර IPL ලකුණු සටහනේ නැවතත් පෙරමුණ ලබා ගැනීමට ද ගුජරාටය සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව තමන්ට සුපුරුදු රාජකාරිය වන පළමුවෙන් පන්දු රැකීමේ වගකීම බාර ගැනීමට ගුජරාටයේ නායක Hardik Pandya විසින් තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලද කොල්කටාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී කොල්කටා ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙස Narayan Jagadeesan ලකුණු 19ක් පමණක් ලබා සිටිය දී දවා ගැනීමට Mohommad Shami සමත් වූ අතර, ඉන්පසුව පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් ලද Shardul Takurව ද ලකුණු නොලබා සිටිය දී දවා ගැනීමට Shami සමත් වුනා.

ඉන්පසුව පිටියට පිවිසි පිතිකරුවන්ට ද රිසි ලෙස ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා නොදී එක් අන්තයක් ආරක්ෂා කර ගැනීමට ගුජරාට් පන්දු යවන්නන් සමත් වුනත් අනෙක් අන්තයේ කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz විසින් ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වෙමින් කොල්කටා ලකුණු පුවරුව කෙමෙන් ඉහළ නැංවීමට සමත් වුනා.

හයේ පහර 7ක් සහ හතරේ පහර 5ක් ද සමඟින් පන්දු 39ක් තුළ ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වූ Gurbaz, Noor Ahmadගේ පන්දුවක් හමුවේ Rashid Khan හට උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

නමුත් Gurbazගේ අඩුව පිරවීමට පිටියට පිවිසි Andre Russell විසින් පන්දු 19ක් පමණක් වැය කරමින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වීම නිසා අවසානයේ කෙසේ හෝ කොල්කටාව ලකුණු 179ක් කරා යෑමට සමත් වුනා.

මෙහි දී කොල්කටාවට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට තිබූ අවකාශය සම්පූර්ණයෙන්ම අහුරා දැමීමට සමත් වූ Josh Little විසින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඊට අමතර ව Noor Ahmad විසින් කඩුලු 2ක් සහ Mohommad shami විසින් කඩුලු 3ක් ද බිඳ හෙළුවා.

පසුව ගුජරාටය විසින් සිය සුපුරුදු ලකුණු හඹා යෑමේ ක්‍රියා පටිපාටියට එළඹුණු අතර, එයට Shubman Gill විසින් මනා ආරම්භයක් ලබා දීමට සමත් වුනේ පන්දු 35කින් ලකුණු 49ක් ලබා ගනිමිනුයි.

ගුජරාට් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 41ක් වන විට දැවී ගිය අතර ලකුණු 93ක් වන විට ඔවුන්ගේ කඩුලු 3ක් දවා ගැනීමට කොල්කටා පන්දු යවන්නන් විසින් සමත් වුනේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වා ගනිමිනුයි.

ඉන්පසුව පිටියේ ස්ථාවර වීමට මාන බලමින් සිටි David Miller සහ Vijay Shankarගේ කඩුලු දවා ගැනීමට ඔවුන් කෙතරම් උත්සාහ කළත්, එම උත්සාහයන් සියල්ල ම අසාර්ථක වූ අතර Miller – Shankar යුගලය විසින් ගුජරාට් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39කින් ලකුණු 87ක වේගවත් නොබිඳුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Miller විසින් පන්දු 18කින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර, Vijay Shankar විසින් පන්දු 24ක් පමණක් වැය කරමින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ඉනිම වෙනුවෙන් Shankar හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් එක් කර ගත් අතර, විශේෂිත ම කරුණ වනුයේ ගුජරාට් ඉනිමේ 15 වැනි පන්දුවාරය වන විට පන්දු 12කින් ලකුණු 12ක් පමණක් ලබා ගැනීමට සමත් වී සිටි Vijay Shankar තමන් මුහුණ දුන් අවසන් පන්දු 12ට හයේ පහර 5ක් සහ එක් 4 පහරක් එක් කර ගනිමින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වීමයි.

ඒ අයුරින් විටෙක පන්දු 30කින් ලකුණු 51ක් ලබා ගැනීමට නියමිත ව තිබූ ගුජරාටය අවසානයේ පන්දුවාර 17 පන්දු 5ක් තුල ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට සමත් වුනා.

තරගයේ වීරයා ලෙස ගුජරාටය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Josh Little විසින් සම්මාන දිනා ගත්තා.

  • Kolkata Knight Riders 179/7 (20): Rahmanullah Gurbaz 81, Andre Russell 34; Mohammed Shami 3-33
  • Gujarat Titans 180/3 (17.5): Vijay Shankar 51*, Shubman Gill 49; Sunil Narine 1-24

මෙවර IPL තරගාවලියේ තවත් තරගයක් මේ වන විට Delhi Capitals සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගය මෙන් ම 2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබ වෙත හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<