ෆුල්ටොස් 3යි හයේ 3යි; මුම්බායි ඉන්දියන්ස් අතිවිශිෂ්ට හඹා යෑමක!

2168

සංගා සහ මාලිංගගේ උපදේශකත්වය සහිතව මෙවර IPL තරගාවලියේ සුපිරි දස්කම් අතර සිටින Rajastan Royals කණ්ඩායමට එරෙහිව සුපිරි හඹා යාමක යෙදෙමින් තරග ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට ඊයේ (30) Mumbai Indians කණ්ඩායමට අවකාශය ලැබුණා.

මෙම සුවිශේෂී තරගය ඇරඹෙන්නේ Mumbai මහගෙදර වන සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. දෙපිළේ නායකයින් ඉදිරියේ කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු දහස් සංඛ්‍යාත Mumbai ප්‍රේක්ෂකයින් ඉදිරියේ මුලින් පන්දුවට පහර දීමේ අභියෝගය භාර ගැනීමට Rajastan නායක Sanju Samson තීරණය කළා.

ඒ අනුව ඉනිම ඇරඹූ Yashasvi Jaiswal සමඟින් Jos Buttler පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 72ක් එකතු කරන්නේ විශාල ලකුණකට යාමට අවශ්‍ය පදනම සකස් කරමින්. විනිසුරුවරුන් වැරදි තීරණ මගින් මෙම සබඳතාවය මීට කලින් අවසන් කිරීමට උත්සාහ කළ ද, එය DRS අවස්ථා යොදාගෙන ව්‍යාර්ථ කර දැමීමට ද Rajastan ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් වුනා.

කෙසේ වෙතත් වෙනදා තරම් ආක්‍රමණශීලී නොවූ Jos Buttler අද ලකුණු 18ක් රැස් කරන්නේ පන්දු 19කට මුහුණ දෙමිනුයි. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන නායක Sanju Samson ලකුණු 14කට දැවී ගියා. Rajastan මැදපෙළ පිතිකරුවන් අන්ත අසරණ වූ මෙම තරගයේ Yashasvi Jaiswalගේ සුපිරි ඉනිම නොවන්නට ඔවුන්ට ලකුණු 150 ලබා ගැනීමත් දුෂ්කර ඉලක්කයක් වන්නට ඉඩ තිබුණා.

එක් අන්තයකින් පිතිපෙළ ගරා වැටෙද්දී අනෙක් අන්තයේ නොසැලී බලා සිටි Jaiswal ඊයේ පන්දු 62කින් ලකුණු 124ක් රැස් කළේ රැස්ව සිටි බහුතරයක් Mumbai Indians ප්‍රේක්ෂකයින්ගේ පවා ගෞරවාදරයට පාත්‍ර වෙමින්. ඉනිමේ පළමු පන්දුවාරයේ සිට අවසන් පන්දුවාරය දක්වාම පිටියේ රැඳී හුන් Jaiswal ඒ අතරේ හතරේ පහර 16ක් සහ හයේ පහර 8ක් එල්ල කලේ Mumbai පන්දු යවන්නන් වෙහෙසට පත් කරමින්.

මේ නිසාම Rajastan Royals කණ්ඩායමට තම පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7කට ලකුණු 212ක් ලබා ගැනීමට හැකි වුනා. Jaiswal හැරුනු කොට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව හෝ පසු කිරීමට අපොහොසත් වූ ඉනිමක ලකුණු 200 අභිබවා වාර්තා වීම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී වමතින් වේග පන්දු යවන Arshad Khan කඩුලු 3ක් දවා ගත්තා.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාම ආරම්භ කළ Mumbai Indians කණ්ඩායමේ නායකයා ලකුණු 3කට පිටියෙන් ඉවත් වුනා. ඒ Sandeep Sharmaගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්. නමුත් එතැන් පටන් Mumbai ඉනිම ලකුණු 76ක් දක්වා ඉදිරියට ගෙන එන්නට Ishan Kishan සමඟින් Cameron Green සමත් වුනා. Kishan පන්දු 23කින් ලකුණු 28ක් ලබා ගනිද්දී, වඩාත් වේගවත් වූ Green ලකුණු 44ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 26ක් පමණයි.

පසුගිය දිනවල නිද්‍රාගතව සිටි Suryakumar Yadav අද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 29කින් ලකුණු 55ක් රැස් කරමින්. සූර්යාගේ තීරණාත්මක ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. ඔහු දැවී යන විටත් පන්දු 26කින් ලකුණු 61ක් අවශ්‍ය කර තිබූ නිසා තවත් සෑහෙන වැඩ කොටසක් තරග ජයග්‍රහණය වෙනුවෙන් ඉතිරිව තිබුණා.

නමුත් Mumbai Indians සතු ශක්තිමත් පිතිපෙළ නිසා ඒ වන විටත් පිටියේ රැඳී සිටියේ ඉහළ පිතිකරණ දක්ෂතා සහිත Tim David සහ Tilak Varmaයි. ඔවුන් දෙදෙනා අවශ්‍ය කරන ලකුණු වේගය හැකි පමණින් පාලනය කරගෙන ගිය ද, අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 17ක් ලබා ගැනීමට ඔවුන්ට ඉතිරිව තිබුණා. Jason Holder එම පන්දුවාරය ක්‍රියාත්මක කළ නිසා බොහෝ දෙනා කණ්ඩායම් දෙක අතර අවසන් පන්දුව දක්වාම සුපිරි සටනක් දැක ගැනීමට සැදී පැහැදී සිටියා.

නමුත් පන්දුවාරයේ මුල්ම පන්දු 3ටම හයේ පහර 3ක් එල්ල කළ Tim David රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත මුම්බායි ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාවෙන් වන්කඩේ ක්‍රීඩාංගණය ගිගුම් දෙද්දී තම කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. දියාරු පන්දු යැවීමක යෙදුනු කොදෙව් ක්‍රීඩක Jason Holder එම පන්දු 3ම ෆුල්ටොස් පන්දු බවට පරිවර්තනය කර ගැනීම Davidගේ වෑයම තවදුරටත් පහසු කළා.

IPL ඉතිහාසයේ 1000 වෙනි තරගය වූ මෙහි කුතුහලය කැටිවුනු නාට්‍යමය අවසානයක් දැක ගැනීමට ලැබීම විශේෂත්වයක්. එසේම මෙය වන්කඩේ පිටියේදී හඹාගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතර ලියවෙනවා. ඊයේ දිනයේ පැවති තරග දෙකේදී කණ්ඩායම් 4ම ලකුණු 200 පසු කර යෑමද ඉතිහාසගත වන්නේ එවන් සිදුවීමක් වූ පළමු සහ එකම දිනය ලෙසයි.

Rajastan Royals – කඩුලු 7ක් දැවී ලකුණු 212 (පන්දුවාර 20): Yashasvi Jaiswal 124, Jos Buttler 18, Sanju Samson 14, Jason Holder 11, Arshad Khan 3/39, Piyush Chawla 2/34, Jofra Archer 1/35.

Mumbai Indians – කඩුලු 4ක් දැවී ලකුණු 214 (පන්දුවාර 19.3): Suryakumar Yadav 55, Tim David 45*, Cameron Green 44, Tilak Varma 29*, Ishan Kishan 28, Ravichandran Ashwin 2/27, Sandeep Sharma 1/35.

තරගයේ වීරයා සම්මානය තම කණ්ඩායම ජයග්‍රහණය කරවීම වෙනුවෙන් හුදකලා නමුත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Yashasvi Jaiswalට හිමි වුනා. මේ අනුව තරගාවලියේ මුල් කොටසේ දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ Mumbai Indians මේ වන විට 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

Indian Premiere League තරගාවලියේ අද (01) ක්‍රියාත්මක වන්නේ Lucknow Super Giants සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර තරගයයි. එහි තරග තොරතුරු සහ සජීවී රූපරාමු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<