IPL ගිය Mustafizurට හතුරුගෙන් රතු එළි!

IPL 2023

1607

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නෙකු වන Mustafizur Rahmanව ඉදිරි තරගවලට තෝරා ගැනීම පිළිබඳ තීරණයක් ඔහුගේ වත්මන් දක්ෂතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ගත යුතු බව චන්දික හතුරුසිංහ මහතා විසින් පවසනවා.

හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මෙන් ම දෙවැනි වරටත් පත්වීම් ලැබීමෙන් පසුව නැවතත් ප්‍රධාන පුහුණුකරු ලෙස බංග්ලාදේශ ජාතික කණ්ඩායම සමඟ එක් වී සිටින හතුරුසිංහ මහතා විසින් මේ දිනවල සිය කණ්ඩායම සමඟ ඉතා වෙහෙස වෙමින් පුහුණුවීම් වල නිරත වන අතර, මෙම මාසයේ මැද බාගයේ දී අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය වෙනුවෙන් තෙදින පුහුණු කඳවුරකට ද ඔහු පසුගිය දා සම්බන්ධ වී තිබුණා.

එම පුහුණු කඳවුරෙන් පසුව ඔහු විසින් සිය කණ්ඩායම සහ කණ්ඩායමේ සැලසුම් පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතරේ Mustafizur Rahman පිළිබඳව තරමක් වැඩියෙන් අදහස් පළ කර තිබුණා.

2015 දී මුල් වරට ජාතික කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව හිමිකර ගත් Rahman ඉන්පසුව දිගින් දිගට ම පන්දුවෙන් විශිෂ්ට දස්කම් පෙන්වමින් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස වැජඹීමට සමත් වුව ද, මෑත කාලීන ව ඔහු එතරම් හොඳින් දස්කම් අතර රැඳීමට සමත් වුනේ නැහැ.

අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර පසුගිය මාසයේ දී පැවැත්වුණු එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පවා දිගින් දිගට ම කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට Rahman හට අවස්ථාව හිමි නොවූ අතර Taskin Ahmed, Ebadot Hossain සහ Hasan Mahmud වැනි වේගපන්දු යවන්නන් දිනෙන් දින ලබන දියුණුව නිසා ම Mustafizurගේ ස්ථානය පිළිබඳව රතු එළි දැල් වී ඇති බව විශ්වාස කළ හැකි.

එමෙන්ම මේ දිනවල ඔහු විසින් මෙවර IPL තරගාවලිය ද නියෝජනය කිරීමට අවස්ථාව හිමි කර ගෙන සිටියත් මෙවර ඔහු නියෝජනය කරන Delhi Capitals වෙනුවෙන් පවා ලද අවස්ථා කිහිපය තුල හොඳින් දස්කම් දැක්වීමට නම් සමත් වුනේ නහැ.

“ඔබ ක්‍රීඩා නොකර සිටිද්දී ඔබේ වත්මන් තත්වය හොඳ ද, නරක ද කියලා කියන්න අමාරුයි. ඔහු (Mustafizur) ගොඩක් ක්‍රීඩා කළේ නැහැ. ඔහු මෙහේ ක්‍රීඩා කරද්දී හොඳින් කළා. ඔහු කණ්ඩායම වෙනුවෙන් තමාගේ වගකීම ඉටු කරන්න සමත් වුනා. ඒ නිසා ඔහු නැවත අපි වෙත ආවහම, ඔහු ක්‍රීඩා කරන්නේ කොහොම ද කියලා බලන්න ඕන.”

හතුරුසිංහ විසින් Mustafizur පිළිබඳ දරන්නේ එවන් අදහසක්. ඒ අනුව බොහෝ විට ඔහු IPL තරගාවලියෙන් පසුව නැවත කණ්ඩායම සමඟ එක් වී දක්ෂතා අතරට පිවිසුණහොත් පමණක් ඉදිරි තරගවල දී අපට ඔහු ව දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

එමෙන් ම සිය කණ්ඩායමේ අනාගතය සැලසුම් පිළිබඳ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් හතුරුසිංහ විසින් අවධාරණය කළේ, ක්‍රීඩකයින්ට නිරන්තර පුහුණුවීම් අත්‍යාවශ්‍ය බව සහ හැකි සෑමවිටක ම ධනාත්මක ලෙස ක්‍රීඩකයින් ක්‍රීඩා කළ යුතු බවයි.

“අපි ධනාත්මක, ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වෙන්නයි යන්නේ. ඒකෙන් කියන්නේ නැහැ අපි හැම පන්දුවක්ම පිටියෙන් එළියට යන්න පහර ගහන්න උත්සාහ කරනවා කියලා. ආක්‍රමණශීලී ක්‍රිකට් කියන්නෙ අපි කරන හැම දෙයක් ම ධනාත්මකව කරන එක. ඒ වගේ ම තීරණ ගැනීමේ දීත් ආක්‍රමණශීලී විය යුතුයි.”

2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<