කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැත්වෙන රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 08, 09 සහ 10 යන තෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත් වෙනවා.
රන් සටන් ඉතිහාසයේ මේ දක්වා පැවැති තරග අතුරින් විසඳුමකින් අවසන් වූ තරගයකට ඇත්තේ 2014 වසරේ දී බිනුර ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලත් ජයග්‍රහණයයි.
මෙවර තරගයේ දී මහානාම විද්‍යාලයීය කණ්ඩායම දුල්නිත් සිගේරා පිරිවරා ද සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායම රන්දීශ බණ්ඩාරනායක පිරිවරා ද පිටියට පිවිසීමට නියමිතයි.
මහානාම විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ පළමු පෙළ Tier A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ කොළඹ මහානාම විද්‍යාලය එම තරගාවලිය අවසන් කරන්නේ අපරාජිතවයි. ඔවුන් සහභාගී වූ තරග අතුරින් කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 62ක ජයග්‍රහණයක් ලබා ගන්නා ඔවුන් ඊට අමතර ව පැවැති කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමඟ තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගන්නවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා සමඟ තරගය ඔවුන් අවසන් කරන්නේ විසඳුමක් නොමැතිවයි.
මෙම ප්‍රතිඵලත් සමඟින් ඔවුන් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ද පිවිසෙන අතර එහි දී කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයක් ලබා ගන්නා ඔවුන් තරගාවලියෙන් ඉවතට වීසි වෙනවා.
මෙම තරගවලට ඔවුන් Traditional තරග 3ක් සඳහා ද සහභාගී වෙනවා. එහි දී කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයක් සහ මොරටුව මහා විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ඔවුන් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සමඟ තරගය විසඳුමකින් තොරව අවසන් කරනවා.
මෙවර රන් සටනට එක් වෙන මහානාම විද්‍යාලයේ ප්‍රධානත ම සටන්කාමීන් ලෙසින් හැදින්වෙන්නේ නායක දුල්නිත් සිගේරා සහ චාමික හීනටිගල. ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්. මේ හේතුවෙන් ම ඔවුන්ට මෙවර තරගාවලියේ දී තම පාසල් කණ්ඩායම නියෝජනය කිරීමට වැඩි අවස්ථා හිමි වූයේ නැහැ.
කෙසේ වෙතත් ක්‍රීඩා කරන ලද තරගවල දී ඔවුන්ගේ දක්ෂතා මහානාම විද්‍යාලය මේ දක්වා පැමිණි ගමනට ඔවුන්ට මහඟු අත්වැලක් සැපයුවා.
ඔවුන්ට අමතර ව කණ්ඩායමේ විශේෂයෙන් කැපී පෙණෙන පිතිකරුවෙක් බවට පත් වීමට තවමත් 17 වැනි වියේ පසුවෙන සිනෙත් වීරරත්න සමත් ව සිටිනවා. ඔහු මෙවර තරගාවලියේ දී කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව ශතකයක් සහ තවත් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු අතර සිටිමින් එකී විශ්වාසය දිනා ගත්තා.
ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන වෙනුර කවීත්‍ර සහ සිතුම් විහඟ මෙන් ම තවිරු පෙරේරා, සනුල් වීරරත්න සහ ඒශාන් විතානගේ වැන්නෝ ද මහානාමයන් වෙනුවෙන් දක්ෂතා දක්වන්නට සැදී පැහැදී සිටින ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණයට ලක් ව තිබෙනවා.
මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දුල්නිත් සිගේරා (නායකයා), චාමික හීනටිගල (උප නායක), සිනෙත් වීරරත්න, නවිඳු රොද්‍රිගෝ, ගීත් සඳරුවන්, සනුක ගනේපොල, වෙනුර කවීත්‍ර, දුල්නෙත් අල්ගවත්ත, සනුල් වීරරත්න, කෞෂික තිලකරත්න, සිතුම් විහඟ, විමත් මදනායක, ගිමන්ත දිසානායක, තෙනුජ රශ්මින්, තවිරු පෙරේරා, ඒශාන් විතානගේ, යශේන් දිලුශ.
නිලධාරීන්
අකිල රාජපක්ෂ (ක්‍රිකට් භාර ආචාර්ය), සොනාල් දුල්ශාන් (ප්‍රධාන පුහුණුකරු), රුමේෂ් මිල්රෝයි සිල්වා (සහාය පුහුණුකරු), කවීන් සිල්වා (සහාය පුහුණුකරු)
ඩී. එස්. සේනානායක විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A කාණ්ඩයේ තරගාවලිය නියෝජනය කළ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර තරගාවලිය නිමා කරන්නේ කැළණිය ගුරුකුල විද්‍යාලය එරෙහි ව ලකුණු 66ක ජයක් සහ තරග 4ක පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනිමිනුයි.
කොළඹ නාලන්දා විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහි ව ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නවා. ඊට අමතර පැවැති තරගවල දී කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයන් ලබන ඔවුන් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල සමඟ පැවැත්වීමට තිබූ තරග වර්ෂාව හේතුවෙන් අතහැර දමමින් අවසන් කරනවා.
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමඟින් Traditional තරගවලට එක් වෙන ඔවුන් ඒ සියලු තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නවා.
එලෙසින් අවසන් කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ මෙවර පාසල් තරගවාරයේ වඩාත් කැපී පෙණනු පිතිකරුවන් බවට පත් වෙන්නේ මියුරු බණ්ඩාර සහ ෂෙවාන් වල්ගම.
ඔවුන් දෙදෙනා ම මේ වන විට ලකුණු 800 සීමා ව ඉක්මවා සිටින අතර තවමත් 14 වැනි වියේ පසුවෙන මියුරු බණ්ඩාර ශතක ද්විත්වයක් සහ අර්ධ ශතකයක් සමඟින් ද සහ ෂෙවාන් වල්ගම ශතකයක් සහ තවත් අර්ධ ශතක 7ක් සමඟින් ද මෙම දක්ෂතා දක්වා තිබෙනවා. ඔවුන්ට අමතර ව බිහාන් ගමගේ, ජනිඳු රණසිංහ, ශනාල් බිනුක්ෂ, හමීඩ් අෆ්ඩාල්, චනුල් අතලේ සහ චිතුන් බද්දගේ වැන්නෝ ද ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ වඩාත් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් බවට පත් ව සිටිනවා.
ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රන්දීශ බණ්ඩාරනායක (නායක), ශනාල් ගමගේ (උප නායක), හමීඩ් අෆ්ඩාල්, කිරාන් පෙරේරා, ඔෂද මනර, මියුරු බණ්ඩාර, සිත්රු ගුණරත්න, ජනිඳු රණසිංහ, ලුදීශ රවිඳු, චිතුන් බද්දගේ, පමුල ලොකුලියන, Ivan Zholobitskyi, බාසුරු කල්හාර, රනුමිත සෙහස්, ශෙවාන් වෙල්ගම, සවේන් කලංසූරිය, බිහාන් ගමගේ, සෙනුජ වන්නිනායක සහ චනුල් අතලේ.
නිලධාරීන්
වජිර අබේවික්‍රම (ක්‍රිකට් භාර ආචාර්ය), ඩිලාන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), කවීෂ දේවින්ද (සහාය පුහුණුකරු), බිනුර ද සිල්වා (සහාය පුහුණුකරු), චමින්ද රත්නායක (Physio), කපිල මුණසිංහ (Trainer).
මෙම තරගයට සමගාමී ව අරවින්ද ද සිල්වා අභියෝගතා ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 17 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. නිමා වූ එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 12ක් මහානාම විද්‍යාලය විසින් ද අවස්ථා 4ක් ඩී. එස්. සේනානායක විද්‍යාලය විසින් ද ජයග්‍රහණය කර තිබෙනවා.
එමෙන් දෙවිදුහල් අතර කේ. එන්. පී. ද සිල්වා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන විස්සයි විස්ස තරගය මේ මස 22 වැනිදා කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
රන් සටනට එක් වෙන මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
රන් සටන වාර්ෂික තුන් දින ක්‍රිකට් තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























