වැඩ කරපු ක්‍රිකට් විරුවා උත්තර බඳියි

296

පුරා වසර 9ක කාලයක් ගත වීමෙන් අනතුරුව එක්වරම කරළියට ආ තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුල මේ වන විට දැවැන්ත කතිකාවතක් නිර්මාණය වෙමින් පවති. 

හිටපු තේරීම් කමිටු ප්‍රධානියාව පැය හයක් ප්‍රශ්න කරයි

2011 වසරේ දී මුම්බායි හී වන්කඩේ ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉතාමත් අවාසනාවන්ත සටනකින් නිමාවට පත් වූයේ සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රජාවගේම දහසකුත් බලාපොරොත්තු එක ක්ෂණයකින් සුන්නත්දූලි කර දමමිනි. 

කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ තරග වැඳුණු ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම එදින සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත් වූයේ ඉන්දියානුවන් හට දෙවන වරටත් එක්දින ලෝක කුසලානයෙහි පහස විඳීමට ඉඩප්‍රස්තාව සලසා දෙමිනි.

එම අමිහිරි, අඳුරු මතකයන් සියල්ල යලි සිහිපත් කරමින් එම වේදනාව තවත් දෙගුණ තෙගුණ ආකාරයේ ප්‍රකාශයක්  පසුගිය දා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවක් අතරතුර දී ප්‍රකාශ කර සිටියේ සමස්ත ක්‍රිකට් ප්‍රජාවම විමතියට පත් කරමිනි. 

එතුමා සිදු කළ එම ප්‍රකාශයේ  බැරෑරුම්කම නිසාවෙන් එහි සත්‍ය අසත්‍යතාව විමසා බලා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන කටයුතු කොට තිබේ.

එහි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (2) පෙරවරුවේ හිටපු ශ්‍රී ලංකා නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයන් කිහිපයක් ලබාගෙන තිබුණේ පැය 10ක පමණ කාලයක් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුවයි.

2011 අවසන් තරගය පාවා දුන්නා යැයි හිටපු ඇමතිගෙන් චෝදනාවක්!

පොලිස් පරීක්ෂක මහත්වරුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පිටතට පැමිණි සංගක්කාර එහි දී සඳහන් කර සිටියේ ක්‍රීඩාවට ඇති ගෞරවය සහ වගකීම් පැහැර හැරීමට ඇති අකමැත්ත නිසාවෙන් ඊයේ (2) එම ස්ථානයට පැමිණීමට ඔහු තීරණය කළ බවයි. තවද මෙම පරීක්ෂණය අවසානයේ දී මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සුලමුල හෙළිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද සංගක්කාර  සඳහන් කර සිටියේය.

“අද මම මෙතනට ආවේ ඔය වුනා කියන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න. මොකද මම මේ විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන්න තීන්දු කරේ ඒක මගේ වගකීමක් වගේම ගැටුම්වලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න හේතුවන කාරණවක් වන නිසා.”

විමර්ශනයෙන් පසුව පිටතට පැමිණි කුමාර් සංගක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින්

2011 ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ආරම්භක පිතිකරු භූමිකාව රඟ දක්වමින් කැපී පෙනෙන සේවාවක් කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ උපුල් තරංග හට මෙන්ම එකල තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා හටද අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් විමර්ශන ඒකකය වෙත මින් පෙර අවස්ථාවන්හී වාර්තා කිරීමට සිදු වූ අතර මීළඟට එවකට හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් උපනායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ඇති බව වාර්තා වේ.

“මම මේ පරීක්ෂණයට ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ගෞරවය නිසා” – කුමාර් සංගක්කාර

මාලිබෝර්න් ක්‍රිකට් සමාජය නොහොත් ක්‍රිකට් ලොවේ නීති සම්පාදකයා ලෙස සැලකෙන MCCහී සභාපති ධුරය හොඹවන කුමාර් සංගක්කාර මෙහි දී ඉස්මතු කර සිටි කාරණාව නම් මෙවැනි දරුණු ගණයේ චෝදනාවක් ඔවුන්ට එරෙහිව ගොනු කිරීමට උත්සහ දරන්නේ නම් ඒ සඳහා නිවැරදි, නිත්‍යානුකූල ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් දියත් කිරීමට පියවර ගන්නේ නම් එය වඩාත් යෝග්‍ය බවයි. 

ඔහු එහි දී සෘජුව සඳහන් කර සිටියේ විධිමත්, අපක්ෂපාති විමර්ශනයන් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ එක්ව ගැනීම වඩාත් ඵලදායි වනු ඇති බවයි.

අවසන් මහා තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 275ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑම සඳහා ඉන්දීය කණ්ඩායම වෙත ආරාධනා කළේ සුවහසක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවාලමිනි. ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල බලකණු දෙකක් ලෙස සැලකෙන ශෙවාග් සහ තෙන්ඩුල්කාර් දෙදෙනා ලකුණු පුවරුවෙහි මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් මාලිංග සමත්කම් දැක්වූයේ මෙරට ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමිනි. 

ලසිත් මාලිංග විරේන්ද්‍ර ශෙවාග්ගේ කඩුල්ල දවා ගත් අවස්ථාව

කෙසේ නමුත් ඉන් අනතුරුව කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් ඉන්දියානු කණ්ඩායම එක්වරම තරගයේ සුක්කානම තම අතට ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දුකරණයේ සහ පන්දු රැකීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 

ඉන් උපරිම ඵල නොලාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රතිවාදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට පහර පිට පහර එල්ල කරමින් ලෝක කුසලානය ඔවුන්ගෙන් උදුරා ගත්තේ නායක‍යා සහ උපනායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාට එම තනතුරුවලින් ඉවත් වෙන තැනටම වැඩ කටයුතු සලසා දෙමිනි. 

සුපිරි අවසන් තරගයේ තීරණයක් ගැන විලියම්සන්ගෙන් හෙළිදරව්වක්

තරගයේ කාසිය වාසිය උරගා බැලීම අතරතුර දී සිදු වූවා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නෙ එය තරමක් සැකය උපදවන සුළු සිද්ධියක් නිසාවෙන් බව ක්‍රිකට් විචාරකයින් මත පළ කර සිටිති.

ඉන්දීය නායක M.S.දෝනි පළමු වරට කාසිය ගුවනට මුසු කළ අවස්ථාවෙහි කුමාර් සංගක්කාර පවසා සිටි “Heads” වචනය හරිහැටි ශ්‍රවණය නොවූ නිසාවෙන් නැවත වතාවක් කාසියේ වාසියේ උරගා බැලීම සඳහා ආරාධනා කිරීමට තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ මහතා හට සිදු විය.

අවසන් මහා තරගයේ දී ශතකයක් ලබා ගත් මහේල ජයවර්ධන සතුට සමරමින්.

2018 වසරේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කෙරෙහිද මේ වන විට විශේෂ අවධානයක් යොමුව තිබෙන්නේ, එම තරගාවලිය අතරතුර දී ද පාවාදීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සැක පිට මෙරට හිටපු ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව තොරතුරු ICCය වෙත ගලා එමින් පවතින බව වාර්තා වීමත් සමඟිනි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට බලාත්මක වන පරිදි තරග පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ICCය එකඟතාව පළකොට ඇති අතර ඒ අනුව එය මේ වන විට දරුණු ගණයේ අපරාධයක් ලෙස වර්ගීකරණය කිරීමට ද ඔවුන් කටයුතු කොට තිබේ. ඒ අනුව වසර දහයක සිර දඬුවමකට අමතරව මුදලින් ඇ. ඩො. 555,000ක දඩ මුදලකට යටත් වීමට ද වරදකරුවන් බවට ඔප්පු වන පාර්ශවයන් හට සිදු වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<