මතීෂගේ විශිෂ්ට උත්සාහය අවසන් පන්දුවේ දී ව්‍යර්ථ වෙයි

IPL 2023

1060

2023 IPL තරගාවලියේ 41 වැනි තරගය Chennai Super Kings සහ Punjab Kings කණ්ඩායම් අතර අද (30) චෙන්නායි හිදී පැවැත්වුණා. සම්පූර්ණයෙන් ම පිතිකරුවන්ගේ ග්‍රහණයට නතු වූ මෙම තරගයෙන් චෙන්නායි පරදවමින් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට පන්ජාබය සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක Mahendra Singh Dhoni විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔහුගේ එම තීරණයට උපරිම සාධාරණය ඉටු කිරීමට චෙන්නායි ආරම්භක පිතිකරු යුගලය වන Devon Conway සහ Ruturaj Gaikwad විසින් සමත් වුනේ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 84ක සබඳතාවක් පිහිටුවමිනුයි.

චෙන්නායි ඉනිමේ දසවැනි පන්දුවාරයේ දී ලකුණු 37ක් ලබා සිටි Gaikwadගේ කඩුල්ල බිඳ දැමීමට Sikandar Raza සමත් වූ අතර, ඉන්පසුව පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් ලබමින් පිටියට පිවිසි Shivam Dube සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණයට පිවිසෙමින් පන්දු 17කින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනේ දැවැන්ත හයේ පහර දෙකක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.

මෙවර තරගාවලියේ අතිශය සාර්ථක ලෙස පිතිකරණයේ නියැලෙන Dube විසින් මෙතෙක් ඉනිම් 8ක් ක්‍රීඩා කර හයේ පහර 21ක් එල්ල කිරීමට සමත් වී තිබෙනවා.

Arshdeep Singh විසින් Dubeව දවා ගැනීමට සමත් වූ අතර, ඉන්පසුව පිළිවෙළින් පිටියට පිවිසි Moeen Aliට සහ Ravindra Jadejaට අද දිනයේ පිත්තෙන් වැඩි යමක් කිරීමට ඉඩ ලැබුණේ නැහැ.

නමුත් Devon Conway විසින් ඉනිමේ පන්දුවාර 20 පුරාවට ම නොදැවී සිටිමින් පන්දු 52ක් තුල ලකුණු 92ක් රැස් කිරීමට සමත් වූ අතර, ඉනිමේ අවසන් පන්දු 2ට මුහුණ දීමට අවස්ථාව හිමි වූ නායක Dhoni විසින් පිට පිට ම හයේ පහර දෙකක් එල්ල කරමින් චෙන්නායි ලකුණු පුවරුව ලකුණු 200ක් කරා රැගෙන යාමට සමත් වුනා.

පන්ජාබය වෙනුවෙන් පන්දු යැවීමේ දී කිසිදු පන්දු යවන්නකු සැලකිය යුතු තරම් දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනේ නැහැ.

ඒ අනුව චෙන්නායි විසින් ලබා දුන් ලකුණු 201ක අභියෝගය හඹා යාමට පිටියට පිවිසි පන්ජාබයේ ආරම්භක පිතිකරුවන් වූ Shikhar Dhawan සහ Prabhsimran Singh  විසින් පන්දුවාර 4 පන්දු 2කින් ලකුණු 50ක වේගවත් සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

පන්ජාබ් ඉනිමේ පළමු කඩුල්ල ලෙස Shikhar Dhawanව දවා ගැනීමට Tushar Deshpande විසින් සමත් වූ නමුත්, එම කඩුල්ල දැවී යාම කිසිම ලෙසකින් පන්ජාබ් ලකුණු ලබා ගැනීමට බාධාවක් කර නොගත් Prabhsimran විසින් වේගයෙන් ලකුණු රැස් කරමින් පන්දු 24කින් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊට අමතරව ඉනිමේ මැද භාගයේ දී චෙන්නායි පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් Liam Livingstone විසින් පන්දු 24කින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්ජාබ් ඉනිමේ පන්දුවාර 15ක් නිමා වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 129ක් ලබා සිටි අතර ඉතිරි පන්දු 30 තුල දී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 72ක් ලබා ගත යුතු වුනා.

ඒ මොහොතේ චෙන්නායි පන්දු යවන්නන් විසින් යැවූ පන්දුවාර දෙකකින් ලකුණු 41ක් ලබා ගනිමින් ඉලක්කය පන්දු 18කින් ලකුණු 31ක් කරා අඩු කිරීමට පන්ජාබ් පිතිකරුවන් සමත් වූ නමුත්, ඉනිමේ 18 වැනි පන්දුවාරය යැවූ මතීෂ පතිරණ විසින් එම පන්දුවාරය තුල දී Sam Curranගේ කඩුල්ල ද දවා ගනිමින් ලකුණු 9ක් පමණක් ලබා දෙමින් තරගයේ දිශානතිය නැවතත් වෙනස් කිරීමට සමත් වුනා.

නමුත් Tushar Deshpande විසින් යොමු කළ ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී ලකුණු 13ක් උදුරා ගැනීමට පන්ජාබය සමත් වීම නිසා මතීෂට අවසන් පන්දු වාරයේ දී ලකුණු 9ක් ආරක්ෂා කර ගැනීමේ අභියෝගයක් බාර වුනා.

මෙහි දී මතීෂ විසින් තරගයේ අවසන් පන්දුවාරයේ පළමු පන්දු 5 තුල දී ලකුණු 6ක් පමණක් ලබා දෙමින් තියුණු අවසානයක් කරා තරගය රැගෙන ඒමට සමත් වුනා.

ඒ අනුව පන්ජාබයට තරගයේ අවසන් පන්දුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර පිතිකරණයේ යෙදී සිටි Sikandar Raza විසින් මතීෂ යොමු කළ අවසන් පන්දුවට Square leg හරහා පහරක් එල්ල කරමින් ලකුණු 3ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව පන්ජාබය විසින් නියමිත පන්දුවාර 20 අවසන් වන විට සිය ඉලක්කය වූ ලකුණු 201 කරා ළඟා වීමට සමත් වූ අතර, ඒ වන විට ඔවුන්ගේ කඩුලු 6ක් බිඳ හෙළීමට චෙන්නායි පන්දු යවන්නන් විසින් සමත් වී තිබුණා.

අද තරගයේ දී මහීෂ් තීක්ෂණට කඩුලු ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු අතර, Tushar Deshpande විසින් ලකුණු 49කට කඩුලු 2ක් ද, මතීෂ පතිරණ සිය පන්දුවාර 4 තුල ලකුණු 32කට එක් කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය චෙන්නායි වෙනුවෙන් නොදැවී ලකුණු 92ක් ලබා ගත් Devon Conway හට හිමි වුනා.

මේ අනුව Chennai Super Kings පරදවමින් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ Punjab Kings මෙවර IPL ලකුණු සටහනේ 5 වැනි ස්ථානය වෙත පැමිණීමට සමත් වූ අතර, Chennai Super Kings තවදුරටත් ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

  • Chennai Super Kings 200/4 (20) Devon Conway 92*, Ruturaj Gaikwad 37; Rahul Chahar 1-35
  • Punjab Kings 201/6 (20) Prabhsimran Singh 42, Liam Livingstone 40; Tushar Deshpande 3-49

මේ වන විට මෙවර IPL තරගාවලියේ තවත් තරගයක් Rajasthan Royals සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, එම තරගය මෙන් ම 2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<