සංගා සහ Samson රාජස්තානය සිනහ සයුරේ ගිල්වයි

IPL 2023

4072

Rajasthan Royals නායක Sanju Samson සහ ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර අතර සිදු වූ හාස්‍ය ජනක කතාබහක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

පසුගිය සෙනසුරාදා (08) Rajasthan Royals සහ Delhi Capitals අතර පැවැත්වුණු තරගයෙන් Rajasthan කණ්ඩායම ලකුණු 57ක පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර, තරගයෙන් පසුව Rajasthan ක්‍රීඩකයින් එක් වූ කණ්ඩායම් හමුවේ දී මේ කතාබහ සිදු වී තිබෙනවා.

සෙනසුරාදා පැවැත්වුණු තරගයේ දී Yashaswi Jaiswal සහ Jos Buttlerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ලකුණු 199ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට Rajasthanය සමත් වූ අතර, ඒ සඳහා පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි Delhi ඉනිමේ පළමු කඩුලු දෙක ම ඔවුන්ගේ පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට Trent Boult විසින් සමත් වුනා.

එහි දී Delhi ඉනිමේ පළමු කඩුල්ල ලෙස Prithvi Shaw දැවී ගියා. Boultගේ පන්දුවක් Sahwගේ පිත්තේ පිටත අග්‍රයේ දැවටීමෙන් පසු උඩපන්දුවක් ලෙස කඩුලු රකිමින් සිටි Sanju Samsonගෙන් තරමක් ඈතට ඇදී ගිය අතර, Samson විසින් දැරූ ඉතා විශිෂ්ට ගණයේ උත්සාහයකින් අනතුරුව එය උඩපන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වුනා.

එම උඩපන්දු රැක ගැනීම මගින් Rajasthan Royals ප්‍රධාන පුහුණුකරු මෙන්ම, සීමිත පන්දුවාර තරග රටාවෙන් ශ්‍රී ලංකාවෙන් බිහිවුනු විශිෂ්ටතම කඩුලු රකින්නකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාරගේ කඩුලු රැකීම් නැවත මතකයට ගෙන ආ බව බොහෝ දෙනෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරමින් පවසා තිබුණා.

එමෙන්ම එම පන්දු රැකීම මෙන්ම තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට පිත්තෙන් දායකත්වයක් ලබා නොදුන්න ද” නායකයකු ලෙස Samsonගෙන් ඉටු වුනු විශේෂ කාර්ය භාර්යය තරගයෙන් අනතුරුව සංගක්කාරගේ ද අගය කිරීමට භාජනය වුනා.

“නායකයා ඉතාම හොඳින් අද කණ්ඩායම මෙහෙයවූවා. ඔබ තීරණ ගත්ත ආකාරය වගේ ම පන්දු යවන්නන් මෙහෙයවපු විදිහත් බලන් ඉන්න වටිනවා. ඔබ ඒ දේවල් කරන්න බය වුනේ නැහැ. ඇත්තටම හොඳයි.”

සංගා එසේ Samsonව අගය කරමින් සිටින අතරේ Samson විසින් සංගක්කාර දෙස බලමින් සිය උඩපන්දු රැක ගැනීම නැවතත් අංග චලන මගින් පෙනෙන්නට සැලැස්වුවා.

“සමාවෙන්න, උඩපන්දුව අමතක වුනා. අපූරු උඩපන්දුවක්. අති විශිෂ්ටයි.

ඒ සමඟම මද සිනාවක් ද සහිතව සංගා එසේ Samson හට පිළිතුරු ලබා දුන් අතර එය මුළු කණ්ඩායම ම සිනහ සයුරේ ගිල්වීමට සමත් වුනා.

එමෙන්ම Delhiයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමඟින් Rajasthan Royals මේ වන විට තරගාවලි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත්ව ඇත්තේ 2.067ක් වැනි ඉහළ දල ලකුණු වේගයක් ද රඳවා තබා ගනිමිනුයි.

මේ අතර IPL තරගාවලියේ 15 වැනි තරගය අද (10) Royal Challengers Bangalore සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති මෙන්ම සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<