රාජස්තානය ඉදිරියේ දිල්ලිය දණ නමයි; Warner නැවතත් තනි වෙයි

IPL 2023

3973

2023 IPL තරගාවලියේ 11 වැනි තරගය අද (08) Delhi Capitals සහ Rajasthan Royals කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට එරෙහිව ලකුණු 57ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ දෙවැනි ජය අත් කර ගැනීමට Rajasthan Royals සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව Delhi නායක David Warner විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට Rajasthan Royals කණ්ඩායමට ඇරයුම් කළ අතර, Rajasthan කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස Jos Buttler සහ Yashasvi Jaiswal පිටියට පිවිසුණා.

ඔවුන් විසින් ඉනිමේ ආරම්භක ලකුණු 32 වන තෙක් ම හතරේ පහරවලින් පමණක් ලකුණු එකතු කරමින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගත් අතර, මුල් පන්දුවාර හය නිමා වන විට Rajasthan කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් වුනා.

Rajasthan ඉනිමේ පළමු කඩුල්ල ලෙස Yashasvi Jaiswal පන්දු 31කින් ලකුණු 60ක් රැස් කර ගැනීමෙන් පසු දැවී ගියා. පසුව පිටියට පිවිසුණු Rajasthan නායක Sanju Samsonට බලාපොරොත්තු වූ තරම් දස්කම් පෙන්වීමට අවකාශය හිමි නොවූ අතර වේගයෙන් ලකුණු එකතු වෙමින් පැවති Rajasthan ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ද තරමක් පහත හෙළීමට Delhi පන්දු යවන්නන් විසින් සමත් වුනා.

නමුත් Shimron Hetmeyerගේ සම්ප්‍රාප්තියත් සමඟින් Delhiය පවත්වා ගැනීමට උත්සාහ කළ ආධිපත්‍යයට කණ කොකා හැඬූ අතර නැවතත් Rajasthan ඉනිමට වේගයෙන් ලකුණු එක් වීමට පටන් ගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසන් වන විට Rajasthan Royals ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 199ක් ලෙස දිස් වූ අතර ඒ වෙනුවෙන් Hetmeyer විසින් ඉනිමේ අවසාන භාගයේ ලබා ගත් වේගවත් ලකුණු 39 හේතුවක් වූවා සේම, ඉනිමේ 19 වැනි පන්දුවාරය තෙක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 79ක් ලබා ගත් Jos Buttler හට Rajasthan ලකුණු පුවරුව වෙනුවෙන් විශාලතම ගෞරවය හිමි විය යුතුයි.

මෙහි දී Delhiය වෙනුවෙන් යම් පමණකට හෝ සාර්ථක වූයේ වේගපන්දු යවන Mukesh Kumar පමණක් වන අතර ඔහු විසින් ලකුණු 36කට Rajasthan ඉනිමේ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව මෙවර IPL තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අරමුණින් යුතුව Delhi Capitals සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණු අතර, සුපුරුදු ලෙස ම Prithvi Shaw මෙවරත් Delhi ඉනිමට අසාර්ථක ආරම්භයක් ලබා දෙමින් ලකුණු නොලබා දැවී ගියා.

එමෙන්ම Trent Boult විසින්‍ යැවූ Delhi ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම Shaw ව දවා ගැනීමෙන් පසුව ඊළඟ පන්දුවෙන් Manish Pandeyව ද දවා ගැනීමට සමත් වුනා. ඒ අනුව තරගයේ ආරම්භක පන්දුවාරය නිමා වන විට Delhi ඉනිම ලකුණු 0කට කඩුලු 2ක් ලෙස දිස් වූ අතර, එතැන් පටන් පිටියේ එක් වූ David Warner සහ Rilee Rossouw හට සිදු වුනේ ආරක්ෂාකාරී ව ඉනිම ගොඩ නැංවීමටයි. නමුත් ලොව පුරා ලීග් තරගාවලි වල ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස අභිමන් ලද Rossouw තවමත් IPL වෙනුවෙන් සූදානම් නොමැති බව පෙන්වමින් ලකුණු 14ක් ලබා සිටිය දී සිය කඩුල්ල Ravichandran Ashwin හට පූජා කළා.

ඉන්පසුව Warnerගේ සහයට පිටියේ එක් වූ Lalit Yadav විසින් Delhi ඉනිමට ලකුණු 38ක් එකතු කිරීමට සමත් වූ නමුත් ඔහු සහ Warner අතර ඇති වුන ලකුණු 64ක සබඳතාව ද අවශ්‍ය පමණට වේගවත් එකක් වුනේ නැහැ.

Lalitගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි එකදු Delhi පිතිකරුවෙකු හෝ පිත්තෙන් සාර්ථක නොවූ අතර David Warner පමණක් එක් අන්තයක අසරණ ව බලා සිටියා.

Delhi ඉනිමේ 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට Warner ද දැවී ගිය අතර ඔහු ඒ වන විට ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. Warner විසින් අද දිනයේ සිය ඉනිම අතරතුර IPL ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසු කර යෑමට සමත් වුනේ IPL තරග ඉතිහාසය පුරාවට ම ලකුණු 6000 සීමාව පසු කර ගිය තෙවැනි පිතිකරුවා මෙන්ම පළමු විදෙස් පිතිකරුවා ද බවට පත්වෙමිනුයි. එමෙන්ම ඔහු එම ලකුණු 6000න් 2000ක් ම Delhiය වෙනුවෙන් ලබා තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම අගනා වටිනා වාර්තාව සැමරීමට නම් Warner හට අද දිනයේ කිසිම ඉඩ කඩක් විවර නොකර ම නියමිත පන්දුවාර 20 තුල Delhi ඉනිම ලකුණු 142කට සීමා වුනා. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 9ක්ම බිඳ හෙළීමට Rajasthan පන්දු යවන්නන් සමත් වී තිබූ අතර, එයින් Trent Boult සහ Yuzvendra Chahal අතර කඩුලු 3 බැගින් ද Ravichandran Ashwin හට කඩුලු 2ක් ද හිමි වුනා.

මේ අනුව Delhi Capitals කණ්ඩායමට මෙවර තරග වාරයේ නොකඩවා ලැබූ තෙවැනි පරාජයත් උරුම කර ගැනීමට සිදු වුනා.

මෙම තරගයේ වීරයා ලෙස Rajasthan Royals වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ Yashaswi Jaiswal සම්මාන දිනා ගත්තා.

  • Rajasthan Royals 199/4 (20) Jos Buttler 79, Yashasvi Jaiswal 60, Mukesh Kumar 2/36
  • Delhi Capitals 142-9 (20) David Warner 65, Yuzvendra Chahal 3/27, Trent Boult 3/29

2023 IPL තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රියේ Mumbai Indians සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම සියලු තරග සජීවී ව ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, තරග විස්තර සියල්ල ඔබ හට ගෙන ඒමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<