නිපුන්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

66

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සමඟ කූලීජ්හීදී පැවති තරගයෙන් ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (14) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීමට කොදෙව්වන් තීරණය කළේය. ඉන් අනතුරුව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 234ක් තම ලකුණු පුවරුව ඉදිරියේ සටහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අසාර්ථක ආරම්භයක් ලබා ගත් අතර කණ්ඩායමේ මුල් කඩුලු දෙකම ලකුණු 16කට බිඳ වැටුණේ ලකුණු 4ක් ලබා සිටි නවෝද් පරණවිතාන හා ලකුණු 7ක් ලබා සිටි කමිල් මිෂාර ආ විගසින් දැවී යාම හේතුවෙනි.

ඉන්පසුව පිටියේ එක් වූ රවිඳු රසාන්ත හා අහන් වික්‍රමසිංහ පිළිවෙළින් ලකුණු 43ක් හා 14 බැගින් ලබා ගත් අතර ලකුණු 62ක සබඳතාවයක් ගොඩනගනු ලැබීය. 

නමුත් මුළු ලකුණු සංඛ්‍යාව 79ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි හා සිව්වැනි කඩුලු දෙක වශයෙන් ඔවුන් දෙදෙනා ද එක ළඟ දැවී ගියේ කොදෙව්වන්ට නැවතත් තරගය විවෘත කර දෙමිනි.

එහෙත් ඉන් අනතුරුව පිටියට එක් වූ නිපුන් ධනංජය නායකත්වයේ බර තම කරට ගනිමින් දිගු ඉනිමකට මුලපුරනු ලැබුවේ පන්දු තෝරා බේරා ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමේ අවසානය වන තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඔහු පන්දු 98කින් ලකුණු 91ක් ලබා ගත්තේ හතරේ පහර දෙකක් හා දැවැන්ත හයේ පහර හයක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

නමුත් ඔහුට නිසි ආකාරව සහයක් අනෙක් අන්තයෙන් නොලැබුණු අතර දිලුම් සුධීරගේ ලකුණු 27 හා කවිඳු නදීෂාන්ගේ ලකුණු 11 හැරුණු කොට සෙසු පිතිකරුවන් සියලු දෙනාටම ලකුණු 10ට අඩුවෙන් ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු විය.

කෙසේ නමුත් ඉන් නොසලෙමින් හුදකලා ඉනිමක නිරත වූ නිපුන් ධනංජය කොදෙව් සියලුම පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහර එල්ල කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 234ක් දක්වා රැගෙන යමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව තම නියමිත පන්දුවාර 20 අවසානයේ දී 234/9 වශයෙන් ලබාගනු ලැබීය.

පන්දු යැවීමේ දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ මැතිව් ෆෝර්ඩ් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 232ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ කිමානි මේලියස් හා ම්බෙකි ජෝසප් ය. ඔවුන් දෙදෙනාම ලකුණු 20 බැගින් ලබා ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 40ක් දක්වා ලකුණු පුවරුව රැගෙන ගියේය. අනතුරුව අන්ත දෙකෙන්ම ක්‍රියාත්මක වූ ලක්ෂාන් ගමගේ හා තිලකරත්න දෙදෙනාගේ පන්දු හමුවේ කොදෙව් ආරම්භක පිතිකරණ යුගලයම ක්‍රීඩාගාරය වෙත හැරී ගියේ ශ්‍රී ලංකාව යළිත් තරගයට අවතීර්ණ කරමිනි.

එහි දී එක් අන්තයකින් හුදකලා වූ කෙව්ලෝන් ඇන්ඩර්සන් ලකුණු 25ක් ලබා ගත්තේය. ඊට අමතරව කර්ක් මැකෙන්සි ලකුණු 15ක් හා මැතිව් ෆෝඩ් නොදැවී ලකුණු 11ක් ලබා ගත්තේය. 

එහෙත් කිසිදු කොදෙව් පිතිකරුවෙකුට අවම වශයෙන් ලකුණු 05 සීමාව හෝ ඉක්මවීමට ඉඩ ලබා නොදීමට කවිඳු නදීෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වගබලා ගත්තේ කොදෙව්වන්ගේ ඉනිම පන්දුවාර 34.4ක දී ලකුණු 104කට සීමා කරමිනි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ කවිඳු නදීෂාන් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාව අනුව ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමි විය.

තරගාවලියේ මීළඟ තරගය ශ්‍රී ලංකාව එංගලන්තය අතර අද (15) කූලීජ්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව – 234/9 (50): නිපුන් ධනංජය 91, රවිඳු රසාන්ත 43, දිලුම් සුධීර තිලකරත්න 27, මැතිව් ෆෝඩ් 4/31

බටහිර ඉන්දීය කොදෙව් – 104/10 (34.4): කෙව්ලෝන් ඇන්ඩරසන් 25, කිමානි මේලියස් 20, ම්බෙකි ජෝසප් 20, කවිඳු නදීෂාන් 4/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<