ධවාන්ගේ තනි දස්කම අපතේ යයි

IPL ක්‍රිකට් තරගාවලිය 2023

107
IPLT20.com

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (9) රාත්‍රියේ පැවැත්වුණු 14 වැනි තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට Sunrisers Hyderabad සමත් වුනා. ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ Punjab Kings කණ්ඩායමයි.

Hyderabad හි Rajiv Gandhi ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනූ Hyderabad කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ  අනුව පිටියට අවතීර්ණ වුනු Punjab කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 22ක් තුල (පන්දු 23ක් තුල) දවා ගන්නට Marco Jansen සහ Bhuvneshwar Kumar යන වේගපන්දු යවන්නන් සමත් වුනා. මීට පෙර Rajasthan Royals සමඟ පැවැත්වුණු තරයේ දී පන්දුවක් අතේ වැදීම නිසාවෙන් ආබාධයකට ලක්වුණු භානුක රාජපක්ෂ මේ තරගයට ක්‍රීඩා නොකිරීම  Punjab කණ්ඩායමට විශාල පාඩුවක් වුනා.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටුණු ලකුණු සටහන යම් ස්ථාවර මට්ටමකට රැගෙන එන්නට නායක Dhawan සහ Sam Curran සමත් වුවත්, Curran ලකුණු 22කට දැවී යාමට පසුව ඔවුන්ගේ තවත් කඩුලු 5ක් ලකුණු 25ක් තුල දවා ගන්නට Mayank Markande ප්‍රමුඛ Hyderabad පන්දු යවන්නන් සමත් වුනා.

Punjab වෙනුවෙන් පළමු පන්දුවේ සිටම කඩුල්ලේ රැඳී සිටි Dhawan පීඩනය මැද අනගි ඉනිමක් දියත් කරමින් 10 වැනි කඩුල්ල සඳහා පන්දු 30ක් තුල නොදැවුණු ලකුණු 55*ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එහි දී Dhawan පන්දු 28ක් තුල ලකුණු 52ක් ලබාගෙන සුපිරි ප්‍රහාරයක් දියත් කළේ Hyderabad බලාපොරොත්තු නොවුණු අවසානයක් දක්වා Punjab ලකුණු සටහන රැගෙන යමින්. අවසානයේ දී ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගත් අතර Dhawan 4 පහර 12ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් දියත් කළ තනි ප්‍රහාරය ශතකයකට ලකුණක් (ලකුණු 99*) මෙපිටින් නවතාලන්නට සිදු වුනා. Mayank Markande කඩුලු 4යි.

පිළිතුරු ඉනිම දියත් කළ Hyderabad කණ්ඩායම පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ දී කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත් අතර එහිදී Rahul Tripathi පන්දු 48ක් තුල 4 පහර 10ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් අගනා අර්ධ ශතකයක් ලබා ගත්තා. නායක Aiden Markram නොදැවී ලකුණු 37*යි.

ඒ අනුව තරග 2ක් ක්‍රීඩා කරමින් අපරාජිතව සිටි අවසන් කණ්ඩායම වුනු Punjab කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ Hyderabad කණ්ඩායම පළමු තරග දෙකම පරාජයට පසුව මෙවර IPL තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය ලබා ගත්තා.

Punjab Kings – 143/9 (20): Shikhar Dhawan 99*, Sam Curran 22, Mayank Markande 4/15

Sunrisers Hyderabad – 145/2 (17.1): Rahul Tripathi 74*, Aiden Markram 37*

Hyderabad කණ්ඩායමට කඩුලු 8ක ජයක්

  • තරගයේ වීරයා – Shikhar Dhawan (Punjab Kings)

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව ඔබට ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<