මුම්බායි බලකොටුවේ දී ජඩේජා, රහානේ කරණම් ගසති

249
Credit : BCCI

IPL තරගාවලියේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි තරගයක් ඊයේ දිනයේ (09) ක්‍රියාත්මක වුනා. ඒ IPL ඉතිහාසයේ වැඩිම ගෞරව දිනා තිබෙන කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගයයි.

එහි දී කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට MS Dhoni නායකත්වය දරන චෙන්නායි කණ්ඩායම සමත් වුනා. තරගය ක්‍රියාත්මක වුනේ මුම්බායි බලකොටුව වන වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ චෙන්නායි නායකයා මුලින් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව ඉනිම ඇරඹූ Rohit Sharma සහ Ishan Kishan පළමු කඩුල්ලට වේගවත් ලකුණු 38ක් එක් කිරීමට සමත් වුනා. මුම්බායි නායකයාගේ කඩුල්ල බිඳ දැමීමට ඊයේ Tushar Deshpandeට හැකි වුනා.

Ishan Kishan පන්දු 21කින් හතරේ පහර 5ක් සමඟ ලකුණු 32ක් ලබා ගත්තත්, ඔහුගේ ගමන කෙළවර කරන්නට රවින්ද්‍ර ජඩේජාගේ දඟපන්දුවකට හැකි වුනා. මුම්බායි කණ්ඩායම බොහෝ බලාපොරොත්තු තබා තිබූ සූර්ය කුමාර් යාදව් ඊයේ දිනයේත් එක් ලකුණකට දැවී යාම ඔවුන්ට දැඩි පාඩුවක් ගෙන දුන්නා. ඔහු පසුගිය දා නිමා වූ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියේ දීත් තරග 3ක දී ම ලකුණු නොලබා දැවී ගොස් කුප්‍රකට වාර්තාවක් තැබූ අයෙක්.

පන්දුවාර 10ක් අවසන් වීමටත් පෙර මුම්බායි කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 76ක් තුල බිඳ වැටීම නිසා තරගයේ පාලනය නිරන්තරයෙන්ම පැවතුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතේයි.

ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු Tim David ඊයේ පන්දු 22කින් ලකුණු 31ක් ලබා ගත්තත්, වන්කඩේ ක්‍රීඩාංගණයේ තරගයක් ජය ගැනීමට අවශ්‍ය අවම ලකුණ ලෙස සැලකිය හැකි ලකුණු 180ක ඉලක්කය පසු කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

නිරන්තරයෙන්ම කඩුලු දවාගෙන ප්‍රතිවාදීන්ගේ ලකුණු වේගය අඩාල කිරීමට උපන් හපන්කම් දක්වන Dhoni ඊයේ දිනයේත් තම රාජකාරිය අකුරටම ඉටු කළේ මුම්බායි කණ්ඩායම තම රාජධානිය තුල දී ම ලකුණු 157කට නවතාලමින්.

පන්දු යැවීමේ දී වසර ගණනක් ඔහු සමඟ කටයුතු කරන Ravindra Jadeja ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් සුපිරි දස්කම් ප්‍රකට කළා. මීට අමතරව Mitchell Santner සහ Tushar Deshpande කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම ලකුණු සංඛ්‍යාව පසුපස හඹා යාම ඇරඹූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 0 දී ම දවා ගැනීමට Jason Behrendorff සමත් වන්නේ වන්කඩේ පිටිය ප්‍රේක්ෂක ජය ඝෝෂාවෙන් ගිගුම් දෙද්දීයි. එහි දී දැවී  යන්නේ ආක්‍රමණශීලී නවසීලන්ත පිතිකරුවෙකු වන Devon Conwayයි. නමුත් දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 82ක් දක්වාම ගෙන යන්නට Ruturaj Gaikwadට සහ Ajinkya Rahaneට හැකි වුනා.

අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Rahane ඊයේ ලකුණු 61ක් ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 27ක් පමණයි. මුම්බායි බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම පාහේ දියකර දමන්නට හේතු වුනු මෙම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. අවසානයේ Piyush Chawlaගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යාමෙන් පසු පිටියට පිවිසි Shivam Dube ලකුණු 28ක් ලබා ගත්තා.

තෙවැනි කඩුල්ල ලකුණු 125 දී බිඳ වැටීමෙන් පසු තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන මොහොත දක්වාම පිටියේ රැඳී සිටි Gaikwad සහ Ambati Rayudu නොබිඳුනු ලකුණු 34ක සබඳතාවයක් ගොඩ නැගුවා. තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතර සිටින Gaikwad තරමක් මන්දගාමී වුවත් තැනට ඔබින ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 36කින් ලකුණු 40ක් ලබා ගනිමින්.

තම ක්‍රීඩා දිවියෙන් දීර්ඝ කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන්ම කැප කළ Ambati Rayudu ඊයේ පන්දු 16කින් ලකුණු 20ක් ලබාගෙන තම හිටපු කණ්ඩායම පරාජය කිරීමට උර දුන්නා.

චෙන්නායි සුපර් කිංග්ස් තරගය ජය ගත්තේ තවත් පන්දු 11ක්ම ඉතිරිව තිබිය දීයි. තරගයේ වීරයා සම්මානය කඩුලු 3ක් දවා ගනිමින් ආරම්භක වාසිය චෙන්නායි කණ්ඩායමට ලබා දුන් Ravindra Jadejaට හිමි වුනා.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 157 (පන්දුවාර 20): Ishan Kishan 32, Tim David 31, Tilak Varma 22, Rohit Sharma 21, Mitchell Santner 2/28, Tushar Deshpande 2/31.

චෙන්නායි සුපර් කිංග්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 159 (පන්දුවාර 20): Ajinkya Rahane 61, Ruturaj Gaikwad 40*, Shivam Dube 28, Ambati Rayudu 20*, Jason Behrendorff 1/24, Kumar Kartikeya 1/24.

මේ අනුව මෙවර IPL තරගාවලියේ තරග 12ක් අවසන් වන විටත් ජයග්‍රහණ ලැයිස්තුවට ඇතුල් වන්නට මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් ත්‍රිත්වය සමත් වී නැහැ.

IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය අද (09) සවස 3.30ටත්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ පංජාබ් කිංග්ස් අතර තරගය අද රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරග ද්විත්වය මෙන්ම IPL තරගාවලියේ සියලුම තරග සජීවීව නැරඹීමට මෙවර ThePapare.com ප්‍රේක්ෂක ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<