ආසියානු කුසලාන කාලසටහන ගැන පාකිස්තානයට ගැට‍ලුවක්!

Asia Cup 2023

2385
Salman butt not happy with 2023 asia cup shedule

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පසුගිය දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, මේ වන විට බංග්ලාදේශයෙන් සහ විශේෂයෙන්ම පකිස්තානයෙන් එම කාලසටහන පිළිබඳ එතරම් සෑහීමකට පත් නොවන අන්දමේ ප්‍රකාශ නිකුත් වෙමින් පවතිනවා. 

මෙවර ආසියානු කුසලාන තරගාවලිය දෙමුහුන් ආකෘතියක් යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන දෙරටේ ම පැවැත්වීමට නියමිත ව ඇති අතර, තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 13න් 9ක් ශ්‍රී ලංකාවේ සහ ඉතිරි 4 පාකිස්තානයේ පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

තරගාවලියේ ආරම්භක තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේ මුල්තාන් හිදි පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු 31 වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පල්ලෙකැලේ දී මුණ ගැසීමට නියමිතයි. 

මෙම තරග කාලසටහන අනුව ඉන්දියාව හැරෙන්නට අනෙක් සියලු කණ්ඩායම්වලට මෙම දෙරටේ ම සංචාරය කිරීමට සිදු වී තිබෙන අතර, මේ අතරින් බංග්ලාදේශය සහ පාකිස්තානයට මෙම කාලසටහන නිසා තරමක අපහසුතාවක් ඇති වීමේ ඉඩක් ද නිර්මාණය වී තිබෙනවා. 

“ඔව්, පළමු වටයේ තරග දෙකක් තියෙනවා, එකක් ලංකාවේ අනික පාකිස්තානයේ. ඇත්තටම වෙන කරන්න දෙයක් නැති නිසා අපිට යන්න වෙනවා. 31න් (අගෝස්තු) පස්සේ ඊළඟ තරගය 03 (සැප්තැම්බර්) වැනිදා.  

ඔබ ගමනක් ගියොත් එයින් ඔබට යම් බලපෑමක් ඇති වෙනවා. ඔබ ගුවනින් ගමන් කරන විට ඔබට පැය දෙකකට පෙර ගොස් ඔබේ ගමන් මළු සූදානම් කර ගැනීම වැනි දෑ කළ යුතුයි. එය මානසික ආතතියක්. පාකිස්තානය ශ්‍රී ලංකාවෙන් බොහෝ දුරයි. 

නමුත් කරන්න දෙයක් නැහැ. එය ACCහි තීරණයක්, හැමෝම ක්‍රීඩා කරන්නේ මේ විදිහට. අපිටත් ඒක පිළිගන්න සිදු වෙනවා.” 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් සභාපති Jalal Yunus විසින් තරග කාලසටහන පිළිබඳ දැක්වූයේ එවන් අදහසක්. ඔවුන් ඒ වෙනුවෙන් කැමැත්තක් නොදැක්වුව ද ACC තීරණයට එකඟ නොවී සිටිය නොහැකි නිසා එම කාලසටහන පිළිගන්නා බවක් ඔහුගේ ප්‍රකාශයේ ගැබ් වී තිබුණා. 

බංග්ලාදේශය ඒ අයුරින් එක එල්ලේ සිය විරෝධය පළ නොකළත්, පාකිස්තාන හිටපු ක්‍රිකට් නායකයෙකු වන Salman Butt විසින් මෙම තරග සැලැස්ම දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. 

“ඒක හරිම අමුතු කාලසටහනක්. පාකිස්තානය පළමු තරගය ක්‍රීඩා කරන්නේ පාකිස්තානයේ දී, මීළඟට ඔවුන් සිය දෙවැනි තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. (ඔවුන්ට එම තරග දෙක අතර ඉතිරි වී ඇත්තේ දින දෙකක කාලයක් පමණයි.) 

නමුත් අනෙක් අතට ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු තරගය ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරලා, දෙවැනි තරගය වෙනුවෙන් පාකිස්තානයට යනවා. ඔවුන්ට දින 4-5ක කාල පරතරයක් ඒ අතර තිබෙනවා. 

පාකිස්තානය තමයි නිල සත්කාරකත්වය දරන්නේ, නමුත් ඔවුන්ට තියෙන්නේ දින දෙකක කාල පරතරයක් විතරයි. අපි අපේ ක්‍රීඩකයින් ගැන කවදාවත් හිතුවේ නැහැ.” 

මෙහි දී තරගාවලියේ මූලික වටයේ දී  ශ්‍රී ලංකාව සිය පළමු තරගයෙන් පසුව පාකිස්තානයේ සංචාරය කළ යුතු අතර සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ගේ ඉතිරි තරග සියල්ල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. 

නමුත් පාකිස්තානය පළමුව පාකිස්තානයේ සහ දෙවනුව ශ්‍රී ලංකාවේත් ක්‍රීඩා කිරීමෙන් පසුව ඉදිරි වටයට සුදුසුකම් ලැබුවහොත් නැවතත් පාකිස්තානයට ගොස් ඉතිරි තරග සඳහා නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වනවා. බංග්ලාදේශයට අත් වී ඇත්තේ එවැනි ම ඉරණමක්. 

මෙම තරග කාලසටහනේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ කාලසටහන නිර්මාණය කිරීමේ දී පාකිස්තානය A1 සහ ඉන්දියාව A2 ලෙසත්, ශ්‍රී ලංකාව B1 සහ බංග්ලාදේශය B2 ලෙසත් සලකා තිබෙනවා. එමෙන්ම මූලික වටයේ දී ඇෆ්ගනිස්තානය හෝ නේපාලය තරග ජයග්‍රහණය කරමින් සුපිරි හතර වටයට පිවිසුණ හොත් ඔවුන් නිසා ඉවත් ව යන කණ්ඩායමේ ස්ථානය ඔවුන්ට හිමි වනවා. 

උදාහරණය: B2 ස්ථානය වෙන් වී ඇති බංග්ලාදේශය ඉවත් කරමින් ඇෆ්ගනිස්තානය සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුව හොත් B2 ලෙස සැලකෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. 

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සුදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times සහ Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<