හැමදේම වෙනස් වුනේ උඩපන්දු නිසා!

Pakistan tour of Sri Lanka 2023

7714
Dropping catches causes sri lanka

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම තරගයේ වාසිය පාකිස්තානය දෙසට හැරවීමට ප්‍රධානතම හේතුව වූ බව ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් විසින් සඳහන් කරනවා.

“මම හිතන්නේ පන්දු රැකීම තමයි මේ ටෙස්ට් තරගයේ අපි මේ තත්වයට පත් වෙන්න හේතුව. අපි ඕනෑවට වඩා උඩපන්දු අත්හැරියා. අපි උඩපන්දු රැක ගත්තා නම් පළමු ඉනිමේ ඔවුන් ලකුණු 300කට දැවී යනවා.”

මෙම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පාකිස්තානයේ Saud Shakeel විසින් සිය ඉනිම අතරතුර ලබා දුන් උඩපන්දු ද්විත්වයක් (ලකුණු 93 දී සහ ලකුණු 139 දී) නිශාන් මදුශ්ක සහ ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිලිහී ගියා. එමෙන්ම Naseem Shah විසින් ලබා දුන් ස්ටම්ප් අවස්ථාවක් ද කඩුලු රකින සධීර සමරවික්‍රම අතින් ගිලිහී ගිය අතර ඉන්පසුව Naseem සහ Shakeel තවත් ලකුණු 26කින් සිය සබඳතාව ඉහළ නැංවීමට ද සමත් වුනා.

තරගයේ සිව්වැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීම සඳහා තවත් ලකුණු 83ක් අවශ්‍ය ව තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් පාකිස්තානය විසින් එම ලකුණු 83 ලබා ගැනීමට පෙර තවත් කඩුලු 7ක් දවා ගත යුතු අතර ඒ වෙනුවෙන් තරගයේ පස්වැනි දිනය වන අද (21) උදෑසන ගාල්ල තණතීරුවෙන් ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නන්ට ද යම් සහයක් ලැබිය යුතුමයි.

එමෙන්ම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ දුර්වලතා මෙතරම් කැපී පෙනීමට පාකිස්තානයේ විශිෂ්ට පන්දු රැකීම් ද තවත් එක් හේතුවක් වූ බව විශ්වාස කළ හැකියි.

“දෙවැනි ඉනිමේ දී (ශ්‍රී ලංකාවේ) අර්ධ අවස්ථා (Half Chances) කිහිපයක් පාකිස්තානය වෙතට ගියා සහ ඔවුන් ඒවා රැක ගන්න සමත් වුනා. එයත් අපිට බලපෑමක් ඇති කළා. පන්දු රැකීම කියන්නේ තීරණාත්මක දෙයක්.

අපි ප්‍රදර්ශනය කළ පන්දු රැකීමේ ප්‍රමිතිය බලාපොරොත්තු සුන් කරවන සුළු අන්දමේ එකක්.”

මෙහි දී පාකිස්තානයේ Imam-ul-haq සහ Abdullah Shafique විසින් පිළිවෙළින් ශ්‍රී ලංකා පළමු සහ දෙවැනි ඉනිම්වල දී සධීරගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් විශිෂ්ට උඩපන්දු රැක ගත් අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී මැතිව්ස්ව දවා ගැනීමට Babar Azam සහ චන්දිමාල් දවා ගැනීමට Imam-ul-haq විසින් ද වටිනා උඩපන්දු රැක ගැනීමට සමත් වුනා.

තරගාවලියට පැමිණීමට පෙර සිය ක්‍රීඩකයින් පන්දු රැකීම දියුණු කර ගැනීම වෙනුවෙන් කඳවුරකට සහභාගී වූ බවයි පාකිස්තානයේ Agha Salman සිය විශිෂ්ට පන්දු රැකීම් පිළිබඳ සඳහන් කරමින් පවසා සිටියේ.

“අපි මෙහේ එන කලින් කඳවුරකට සම්බන්ධ වුනා. එහි දී අපි මූලික අවධානය යොමු කලේ පන්දු රැකීම වෙනුවෙන්. අපි ඒ වෙනුවෙන් ඉතා හොඳින් සූදානම් වුනා, ඒවායේ ප්‍රතිඵල තමයි දැන් ලැබෙමින් පවතින්නේ.

මම කුඩා කාලයේ පටන් අහලා තිබුණු දෙයක් තමයි උඩපන්දු තරග දිනවනවා කියන එක. ඔබ මෙවැනි උඩපන්දු රැක ගන්නා විට එය තරගයේ වෙනසක් සිදු කරනවා.”

තරගයේ සිව් වන දිනයෙන් පසු Agha විසින් මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<