ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2442

දැඩි ප්‍රමාදයකට ලක් වූ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන මෙම සතියේ දී නිල වශයෙන් නිකුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.  

Jay Shahගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධානීන් සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අතර පසුගිය දා පැවති රැස්වීමකින් පසුව මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. 

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ, 

“සෙනසුරාදා (15) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සහ ආසියානු ක්‍රිකට් බලධාරීන් අතර ආසියානු කුසලාන කාලසටහන සකස් කර අවසන් කිරීම සඳහා රැස්වීමක් පැවැත්වුවා.  

තරගාවලි කාලසටහන මේ සතියේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර තරගාවලිය පාකිස්තානයේ දී ආරම්භ වෙනවා. තරගාවලියේ සත්කාරකයින් වශයෙන් අපි ලොව පුරා සිටින සියලු ප්‍රේක්ෂකයින්ට එයට ආරාධනා කර සිටිනවා.” 

ජුනි 15 වැනිදා මෙම තරගාවලිය දෙමුහුන් ආකාරයට ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ දී අගෝස්තු 31 සිට සැප්තැම්බර 17 දක්වා පැවැත්වෙන බව පාකිස්තාන බලධාරීන් තහවුරු කළ අතර එයින් තරග හතරක් පාකිස්තානයේ සහ නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි 

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙනස් වීමෙන් පසු නව සභාපති විසින් පාකිස්තානයට වැඩි තරග ගණනක් ලබා ගැනීමට උත්සහ කරන බව ද මීට පෙර ප්‍රකාශ කළා. 

නමුත් තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් සභාපති Arun Dhumal ප්‍රකාශ කළේ, පෙර සැලසුම් කර ආකාරයට මෙම තරග පැවැත්වෙන බව සහ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය බොහෝ විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවයි. 

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<