ප්‍රංශ වෛද්‍යවරුන්ගේ ජාතිවාදී ප්‍රකාශ වලට පාපන්දු තරුවලින් ප්‍රතිචාර

156

නව කොරෝනා වෛරස තත්වය වළකාලීමට සාර්ථක ප්‍රතිඵල ගෙනෙනු ඇතැයි අපේක්‍ෂා කරන BCG එන්නත අප්‍රිකාවේ පරීක්‍ෂා කළ යුතු බවට පසුගියදා ප්‍රංශ මහාචාර්යවරුන් දෙපළක් සිදුකළ ප්‍රකාශය හිටපු ප්‍රබල පාපන්දු ක්‍රීඩකයින් දෙපළක් වන Didier Drogba සහ Samuel Eto’oගේ දැඩි විවේචනයට ලක්විය. 

මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස වර්ධනය වී ඇති මෙම නව කොරෝනා වෛරස තත්වය ආසාධිත වූ අය සුව කිරීම සඳහා නිශ්චිත ඖෂධයක් හෝ එන්නතක් සොයා ගන්නට තවමත් කිසිවෙකු සමත්ව නොමැත. නමුත් පසුගිය කාලය පුරාවට සිදුකළ පරීක්‍ෂණ හරහා හෙළි වූයේ ක්‍ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගනු ලබන එන්නතක් වන Bacillus Calmette – Guerin’ (BCG) එන්නත, වෛරසය සඳහා නිවාරක එන්නතක් ලෙස සාර්ථකව භාවිතා කිරීමේ හොඳ සම්භාවිතාවක් ඇති බවයි. ඒ අනුව ප්‍රංශ රූපවාහිනී නාලිකාවක් සමඟ අදහස් දක්වමින් ප්‍රංශයේ පැරිස් නුවර Cochin රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී මහාචාර්ය Jean-Paul Mira ප්‍රකාශ කර සිටියේ එහි සාර්ථකත්වය සොයා බැලීම සඳහා සිදුකරනු ලබන පරීක්‍ෂණ අප්‍රිකාවේ සිදුකළ යුතු බවයි. 

“අපි මෙම අධ්‍යයනය හරියට මුහුණු ආවරණ නොමැති, නිසි ප්‍රතිකාරයක් හෝ සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ ක්‍රියාමාර්ගයක් නොමැති අප්‍රිකාවේ නෙමෙයි ද කළ යුත්තේ? හරියට එහේ ගණිකාවන් AIDS අධ්‍යයනයන් සඳහා නව අත්හදා බැලීම් සිදුකරනවා වගේ. මොකද ඔවුන් දන්නවා ඔවුන් අනාරක්ෂිතයි කියලා.” 

මෙම වැඩසටහනේ දීම තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ වෛද්‍ය පර්යේෂණ සඳහා වන ප්‍රංශ ජාතික ආයතනයේ (Inserm) පර්යේෂණ කටයුතු සම්බන්ධ සාමාන්‍යාධීකාරී මහාචාර්ය Camille Locht ද ප්‍රකාශ කර සිටියේ ඔවුන් මීට අදාළ පරීක්ෂණයක් අප්‍රිකාවේ සිදුකිරීම සම්බන්ධව මේ වන විට සිතමින් පවතින බවයි. 

“ඔබ නිවැරදියි. අපි ඒ වගේම ප්‍රවේශයක් තුළින් BCG එන්නතට අදාළව අධ්‍යයනයක් අප්‍රිකාවේ කරන්න සිතමින් ඉන්නේ. මේ වන විටත් ක්‍රියාත්මක හෝ ක්‍රියාත්මක වෙන්න නියමිත පොඩි ක්‍රියා පටිපාටියක් තියෙනවා. අපි ඒක පිළිබඳව හොඳින් සිතා බලනවා. තවදුරටත් එය ඊට සමගාමීව එවන් අධ්‍යයනයන් යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සිදුකිරීම වළක්වන්නේ නැහැ.” 

කෙසේ නමුත් එය විකාශය වූ වහාම ක්‍රියාත්මක වූ Cameroon ජාතික පාපන්දු කණ්ඩායම සහ FC Barcelona, Inter Milan, Chelsea සහ Real Madrid ඇතුළු ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජ ගණනාවක් නියෝජනය කළ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු වන Samuel Eto’o විසින් ඔහුගේ Twitter සහ Instagram ගිණුම් වල මෙම ප්‍රකාශ වලට අදාළව ඔහුගේ දැඩි විරෝධය පළකර ඇත. ඔහු විසින් පළකරනු ලැබූ පණිවුඩ වල දැක්වුනේ; 

“Sons of b*****s. You’re just SH*T. අප්‍රිකාව ඔබලාට අයිති නැහැ, ඔය විදිහට අප්‍රිකාවත් එක්ක සෙල්ලම් කරන්න.” ලෙසයි. 

 

View this post on Instagram

 

Fils de P… Vous n’êtes que de la MERDE, N’est-ce pas l’Afrique est vôtre terrain de jeu…????????adrénaline ????

A post shared by Samuel Eto’o (@setoo9) on

ඉන් අනතුරුව ඔහු සමඟ එක්වූ Ivory Coast රාජ්‍යයේ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම Chelsea පාපන්දු සමාජය නියෝජනය කළ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන Didier Drogba ද මෙම ප්‍රකාශයන් දැඩි ලෙස විවේචනය කරන්නට විය. 

“අපි තවදුරටත් මේවා පිළිගෙන කරන්න දෙනවා කියන එක මට නම් හිතාගන්නත් අමාරුයි. අප්‍රිකාව කියන්නේ පර්යේෂණාගාරයක් නෙමෙයි. මම මේ දරුණු, ජාතිවාදී වගේම අපහාසාත්මක ප්‍රකාශයන් තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. අපිට අප්‍රිකාවේ ජීවිත බේරගන්න වගේම මුළු ලෝකයම අස්ථාවර කරමින් ඉන්න මේ වෛරසයේ පැතිරීම වළක්වාගන්න උදව් වෙන්න. නැතුව අපිව අපිව guinea pigs තත්වයට දාන එක නෙමෙයි මෙතැන විය යුත්තේ. මේක හරිම අසාධාරණයි. ඒ නිසා අප්‍රිකාවේ නායකයින්ට මේ වගේ කුමන්ත්‍රණ වලින් ඔවුන්ගේ ජනතාව බේරගන්න ලොකු වගකීමක් තියෙනවා.” 

තවත් කියවන්න; 

ඊට අමතරව Senagal රාජ්‍යයේ මෙන්ම මේ වන විට තුර්කියේ Istanbul Basaksehir පාපන්දු සමාජයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ලබන Demba Ba ද ප්‍රකාශ කර සිටියේ; 

“මේ තමයි බටහිර ලෝකයේ හැටි. සුදු ජාතික මිනිස්සු ඔවුන් උසස් කියලා හිතාගෙන, අන්තිමට ජාතිවාදය සහ මෝඩකම සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ ඔවුන්ට. ඒ නිසා ඊට එරෙහිව අපි නැඟී සිටිය යුතු කාලය යි මේ.” යනුවෙනි. 

මෙම BCG එන්නත නව කොරෝනා වෛරස තත්වය හමුවේ සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන එන්නත් සහ ඖෂධ අතරින් එකක් පමණක් වේ. ඒවා ලොව පුරා මහජනතාව හමුවේ භාවිතා කිරීමට පෙර පරීක්‍ෂණ ගණනාවකට යටත් කර තවදුරටත් වැඩි දියුණු කිරීමට ද ලක්කළ යුතුය. ඒ අනුව විද්‍යාඥයින් විසින් සකසනු ලැබූ සාමාන්‍ය ඇස්තමේන්තු ගත කිරීම් මඟින් පෙන්වා දෙන්නේ මෙම වෛරසය වෙනුවෙන් භාවිතා කළ හැකි සාර්ථක එන්නතක් මහජනතාව හමුවේ භාවිතා කිරීමට නම් අවම වශයෙන් මාස 18ක කාලයක් ගතවනු ඇති බවයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<