නිදි පෙති සමඟ ජීවත් වූ අතීතය ගැන De Villiers හෙළි කරයි

ICC Cricket World Cup 2015

2220

2015 ක්‍රිකට් ලෝක කුසලාන තරග සමය මතකයට නංවමින් ක්‍රීඩකයෙකු සතු විය යුතු මානසික සෞඛ්‍ය පිළිබඳ වටිනා අදහස් කිහිපයක් සමාජගත කිරීමට හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු AB De Villiers පෙරමුණ ගෙන තිබෙනවා.

පසුගිය දිනවල දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Steve Smith සහ එංගලන්ත පාපන්දු ක්‍රීඩක Dele Alli විසින් සෘනාත්මක හැඟීම් ක්‍රීඩකයින්ට කෙතරම් බලපානවා ද යන්න පිළිබඳ සිය අත්දැකීම්වලින් ම පැහැදිලි කිරීමට සහ සමාජයේ අවධානය යොමු කිරීමට උත්සාහ කරමින් සිය අදහස් පළ කර තිබුණා.

එමෙන්ම වර්තමානය වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ පුළුල් කතිකාවතක් ද ගොඩනැගෙමින් පවතින අතර ඒ වෙනුවෙන් තවත් සුපිරි ක්‍රීඩා තරු රැසක් සිය අදහස් එකතු කිරීමට ද පෙලඹෙමින් සිටින බව පෙනී යනවා.

ක්‍රීඩකයෙකු ලෙස තමන් විසින් ද මෙවැනි සංකාවෙන් ගෙවූ දවස්, අනවශ්‍ය ලෙස කලබලයට පත් වූ දවස් ගෙවා දැමූ බවත්, එවැනි තත්වයන්ගෙන් අත් මිදීමට නිදි පෙති ලබා ගැනීමට පවා පෙලඹුණු බවත් සඳහන් කරමින් හිටපු දකුණු අප්‍රිකානු පිතිකරණ පුරාවෘත්තය AB De Villiers ද මෙම සාකච්ඡාවට සිය අදහස් මුදා හැර තිබෙනවා.

“මටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්, මොකද මටත් ලොකු තරගවලට පෙර ඒ වගේ ගැට‍ලු තිබුණා. මට ඇත්තටම නිදාගන්න අමාරු වුනා.

නිදි පෙති මට නිදා ගැනීමට උපකාරී වුනා. නමුත් එය ටික මොහොතකින් ගැට‍ලුවක් වෙන්න පුළුවන්. මොකද, ඒ පෙති ඔබට දිගු නින්දක් ලබා නොදෙන නිසා. නමුත් එයින් ඔබට යම් සැහැල්ලුවක් ඇති කරනවා, කාංසාව දුරු කරලා ඔබ අවට හොඳ පරිසරයක් නිර්මාණය කරනවා.”

තමන්ගේ YouTube නාලිකාව හරහා අදහස් දක්වමින් සිය අත්දැකීම් පිළිබඳ උදාහරණයක් ද සැපයූ De Villiers විසින් සඳහන් කළේ, 2015 එක්දින ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගයට පෙර දින රාත්‍රියේ ද තමන් අනවශ්‍ය ලෙස කලබල වූ නිසා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට පවා සිදු වූ බවයි.

“මට හොඳට මතකයි 2015 ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගයට පෙර රාත්‍රිය ගැන. ඇත්තෙන්ම මම ඒ තරගයේ ශතකයක් රැස් කිරීමට සමත් වුනා, නමුත් ඒක මහා පුදුමයක්. ඒක මගේ ජීවිතයේ හොඳම ඉනිම් වලින් එකක්. ඒත් තරගයට පෙර දවසේ රාත්‍රියේ මම උපරිම පැය 2-3ක කාලයක් තමයි නිදා ගත්තේ.

මට නිදාගන්න බැරි වුන නිසා අලුයම 3ට මම වෛද්‍යවරයෙකු ව මගේ කාමරයට කැඳවා ගෙන එන්නතක් ලබා ගත්තා. මට බඩේ කැක්කුමක් ඇති වෙලා තිබුණා. ඒකට හේතුව වෙලා තිබුණේ අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු තරගය ගැන සිතමින් සිටි නිසා ඇති වුන කාංසාව, ආතතිය සහ අධික පීඩනය.”

සිය මතකය අවදි කළ මෙම තරගයේ දී කොදෙව්වන්ට එරෙහිව පන්දු 66ක් පමණක් වැය කරමින් ලකුණු 162ක් ලබා ගැනීමට AB විසින් සමත් වුනා.

තීරණාත්මක ම තරගයකට පෙර ක්‍රීඩකයෙකුට කෙතරම් පීඩනයක් ඇති වේ දැයි De Villiers විසින් සිය අත්දැකීම් මඟින් ම පැහැදිලි කර දෙමින් සඳහන් කරන්නේ එවැනි අවස්ථාවක නිදි පෙති ලබා ගැනීම තරමක සහනයක් ගෙන දෙන බවයි. නමුත් එවැනි පෙලඹීම් ඇබ්බැහියක් බවට පත් වීමේ අවදානමක් ඇති බවත් ඔහු විසින් අවධාරණය කරනවා.

“ඒ ‘මම මෙය නැවත හෙට කළ යුතුයි, මම එය නැවත කළ යුතුයි.’ යැයි සිතමින් හොටල් කාමරවල ගෙවා දැමූ දවස්.

එය කිසි විටක නතර වුනේ නැහැ. ඔබ නිදි පෙතිවලට කෙතරම් ඇබ්බැහි විය හැකි ද කියතොත් ඒවා අවශ්‍ය නොවෙන විට පවා ඔබ ඒවා පාවිච්චියට ගන්න පටන් ගන්නවා. එතැන සිට එය ගැට‍ලුවක් බවට පත් වෙනවා. මගේ වාසනාවට පසුගිය වසර 5-7 කාලය තුළ මම කෙමෙන් ස්ථාවර වුනා. ටිකෙන් ටික හොඳ තත්වයට ආවා. නමුත් එය ඉතා භයානකයි.”

සිය ජීවන අත්දැකීම් එසේ හෙළිදරව් කරමින් වත්මන් නැගී එන ක්‍රීඩකයින් ව ආමන්ත්‍රණය කළ AB විශේෂයෙන්ම අවධාරණය කරමින් පවසන්නේ ඕනෑම අවස්ථාවක සිය ගැට‍ලු තමන්ට උපකාර කළ හැකි වෘත්තිකයන් සමඟ බෙදා ගත යුතු බවයි.

“එය ඔබට සිදු වුනොත්, ඔබ ඒ ගැන යමකු සමඟ පැවසිය යුතුයි. මගේ වෘත්තීය ජීවිතය තුළ මට වැරදුණු දෙයක් ඒක. මට ඒ ගැන කතා කරන්න බැරි තරම් ආඩම්බරයක් තිබුණා. පුහුණුකරුට හෝ නායකයාට එය පෙන්වන්න ඕන වුනේ නැහැ. නමුත් යමකු සමඟ කතා කිරීම වැදගත්. ඔබ හොඳින් ජලය පානය කල යුතුයි, ආහාර ගත යුතුයි, ව්‍යායාම කළ යුතුයි. හොඳ රාත්‍රි විවේකයක් ඔබට ඊළඟ දවසේ සාර්ථකත්වය ළඟා කර දේවී.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<