Dhoni යනවා ද, නැද්ද?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2185

ක්‍රිකට් පිටියෙන් පූර්ණ වශයෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක MS Dhoni ඉඟි සැපයුවත්, ඔහු තවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කරන බව Chennai Super Kings කණ්ඩායම් කළමනාකාරිත්වය පවසනවා.

Kolkata Knight Riders සමඟ පැවති මූලික වටයේ තරගයෙන් පසුව අදහස් දැක්වූ කණ්ඩායමේ ප්‍රධාන නිලධාරි Kasi Viswanathan ප්‍රකාශ කළේ,

“ඒක මගේ අනුමානයක් විතරයි. ඔහු අපිට ඒ ගැන මොකුත් කියලා නැහැ. ඒත් ඔහු ක්‍රීඩා කරන ආකාරය සහ කණ්ඩායම මෙහෙයවන ආකාරය එක්ක මම හිතනවා ඔහු තව තරගාවලියක් ක්‍රීඩා කරයි කියලා.”

නමුත් එම තරගය අවසන් වීමෙන් පසු ඔහු සිය කණ්ඩායම සමඟ ක්‍රීඩාංගණය වටා යමින් ප්‍රේක්ෂකයින්ට ආචාර කරනු දැක ගැනීමට හැකි වූ අතර එය ඔහුගේ සමුගැනීම පිළිබඳ තවත් ඉඟියක් වනු ඇති බවට ද මත පලවනවා.

“මම හිතන්නේ මේක ඔහුගේ අන්තිම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කියලා Dhoni අවශ්‍ය තරම් ඉඟි දීලා තියෙනවා. ඔහු ප්‍රේක්ෂකයින්ට අනුමාන කරන්න දාල තියෙන්නේ, ඒක තමයි ඔහුගේ ස්වාභාවය. මේ දේවල් එක්ක මම හිතනවා ඔහු තව අවුරුද්දක් ක්‍රීඩා කරන්නේ නැති වෙයි කියලා.

අපි කවදාවත් දැකලා නැහැ Sunil Gavaskar වෙනත් ක්‍රීඩකයෙකුගෙන් සමරු සටහනක් ලබා ගන්නවා. එවැනි විශිෂ්ටයෙක් Dhoniගෙන් සමරු සටහනක් ලබා ගැනීම ම ඔහුගේ ශ්‍රේෂඨත්වය කියා පානවා,” යැයි ඉන්දීය හිටපු ක්‍රීඩක Mohammad Kaif ප්‍රකාශ කළා.

MS Dhoni කිසිවිටක සිය සමුගැනීම් කල් තියා ප්‍රකාශ කළ ක්‍රීඩකයෙකු නොවූ අතර 2014 වසරේ ඕස්ට්‍රේලියා සංචාරයක් අතරතුර ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේ සිය කණ්ඩායම් සඟයන් පවා පුදුමයට පත් කරමිනුයි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම 2020 වසරේ අගෝස්තු 15 වැනිදා රාත්‍රි 7.29ට ප්‍රකාශ කරමින් ඔහු ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නිදහස් දිනයට වඩා තවත් හොඳ දිනයක් නැති බවයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු විසින් සිය අවසන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගය චෙන්නායි නුවර ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන බව ප්‍රකාශ කර තිබූ අතර මූලික වටයේ සත්කාරක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගයට ඔහු පසු ගිය දා සහභාගී වුනා.

නමුත් ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන් පසු වන ස්ථානය අනුව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට වැඩි ඉඩ කඩක් ඇති නිසා ඔවුන්ට එම වටයේ තරගයක් සිය සත්කාරක ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට බොහෝ විට අවස්ථාව හිමි වෙනවා.

ක්‍රීඩකයෙකු සහ නායකයෙකු ලෙස මෙවරත් Dhoni කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර මතීෂ පතිරණ, Tushar Deshpand වැනි නවක ක්‍රීඩකයින් නිසි ලෙස කළමනාකරණය කරමින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකි වීම කැපී පෙනුණා.

ඔහු සත්කාරක ක්‍රීඩාංගණයේ පමණක් නොව අනෙක් ක්‍රීඩාංගණවල පිතිකරණය පැමිණෙන විට ද ඔහුට අතිවිශාල ප්‍රේක්ෂක සහයක් හිමි වීම මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදු වීමක් වුනා.

ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන විට ඔහුගේ වයස අවුරුදු 42ක් වූවත් ඔහු තවත් තරගාවලියක් ක්‍රීඩා කරනු ඇතැයි Chennai Super Kings බලධාරීන් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග  ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

Times of India සහ Cricbuzz ඇසුරිනි.              

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<