ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වූ අතර එහි දී ගාල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.
එහි දී තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායමේ නායක හමීඩ් අෆ්ඩාල් සමත් වෙන අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ එම කණ්ඩායමේ ම ඔමික දහනායක.
15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය 26 වැනිදා සිට
මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – මහනුවර
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහනුවර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 110ක් පමණයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉසර පියුමජ සහ දුලන අබේසේකර සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා.
දුලන අබේසේකර පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. ඉසර පියුමජ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17ක්. ඔහු ඊට පන්දු 68ක් වැය කළා.
ඔවුන්ට අමතර ව මොවිඳු ටුනාල් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණ 31ක් ද සහ සෙතුජ මන්දිනු පන්දු 67කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 89ක දී ලකුණු 52ක සබඳතාවක් ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී යතිශ් ඉඳුවර සහ විනුජ ආයුවර්ධන කඩුලු ද්විත්වය බැගින් ද, දුලාජ් පිහිලංග, සෝගිත සෙනෙත් සහ පවන් හේරත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු රමේෂ් ලක්ශාන්. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව මිහිරිඳු විතාරණ පන්දු 33ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මහීෂ දිසානායක සහ අනුග පල්ලියගුරු කඩුලු 3 බැගින් දවා ගනිද්දී අදීශ ගෞතම්, දියත් සංජිත සහ සෙනෝද් සදෙව් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 170 (50.0) දුලන අබේසේකර 33, සෙතුජ මන්දිනු 27, මොවිඳු ටුනාල් 31, විනුජ අයුවර්ධන 2/51, යතිශ් ඉඳුවර 2/29
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 110 (38.0) රමේෂ් ලක්ශාන් 27, මහීෂ දිසානායක 3/13, අනුග පල්ලියගුරු 3/14
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 60ක ජයක්.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි
- Tajpur මායාකාරයාගේ ප්රාතිහාර්ය ඉනිම
- Tier B තෙදින තරගාවලියට දින වෙන් කරයි
- පළමු පෙළ ශූරතාව වෙස්ලි විද්‍යාලය දිනා ගනී
- 17න් පහළ යොවුන් තරගාවලියේ අනාගත තරු
කොළඹ උතුර සහ කොළඹ දකුණු අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ උතුර
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 138ක් පමණයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට එම කණ්ඩායමේ නායක හමීඩ් අෆ්ඩාල් සමත් වෙනවා. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.
ඔහු එම ඉනිම තුළ දී දෙනෙත් පෙරේරා සමඟ එක් වෙමින් පන්දු 109ක දී ලකුණු 86ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී දෙනෙත් පෙරේරා පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා.
ඔවුන්ට අමතර ව චරින් ගයුක පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද සහ අකිඳු ආකාශ් පන්දු 39ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දි සවිඳු අත්තනායක, චාමික ප්‍රනාන්දු සහ චතුප හිමංසන කඩුලු ද්විත්වය බැගින් ද, චේතින කාවින්ද සහ ලයාල් මිබ්ශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක චේතින කාවින්ද. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.
ඊට අමතර ව රිහාන් දිසානායක පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඔමික දහනායක ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මලිඳු නවෝද් ලකුණු 21කට කඩුලු 3ක් ද, හිරුෂ ලෝචන, දෙනෙත් පෙරේරා සහ තෙවාන් වෛද්යනායක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 173 (45.0) චරින් ගයුක 25, හමීඩ් අෆ්ඩාල් 50, දෙනෙත් පෙරේරා 39, චතුප හිමංසන 2/21, චාමික ප්‍රනාන්දු 2/42, සවිඳු අත්තනායක 2/19
- කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 138 (37.2) රිහාන් දිසානායක 27, චේතින කාවින්ද 40, මලිඳු නවෝද් 3/21, ඔමික දහනායක 4/29
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 35ක ජයක්.
තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (27) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දඹුල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද මහනුවර සහ කොළඹ උතුර කණ්ඩායම් අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















