ශ්‍රී ලංකා යෞවනයින් තෙවැනි වරටත් පරාදයි

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලිය

305

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (29) පැවති SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලියේ  තෙවැනි තරගයේ දී ගෝල 4-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන්නට ඉන්දියාව සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අඛණ්ඩව මෙම තරගාවලියේ දී ලබා ගත් තෙවැනි පරාජය මෙය වන අතර මීට පෙර, පළමු තරගයේ දී බංග්ලාදේශ හමුවේ ගෝල 1-0ක් ලෙසත්, නේපාලය හමුවේ ගෝල 3-0ක් ලෙසත් ශ්‍රී ලංකාව පරාජයට පත්වුනා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂ ලෙස ප්‍රථම අර්ධය පුරාවට ක්‍රීඩා කළ අතර ඉන්දීය ක්‍රීඩකයින්ට කිසිදු ගෝලයක් වාර්තා කරන්නට ඔවුන් අවස්ථාවක් නිර්මාණය කළේ නැහැ. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ද ලකුණු ලබා දෙන්නට ඉන්දීය ක්‍රීඩකයින් ඉඩ නොතැබූ අතර ප්‍රථම අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

මද විවේකයකින් පසුව ආරම්භ වූ දෙවැනි අර්ධයේ දී ශ්‍රී ලංකාව අතින් තරගය ගිලිහී යනු දක්නට ලැබුණු අතර ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් පළමු ගෝල වාර්තා කරන්නට ඉන්දීය ක්‍රීඩක Himanshu Jangra සමත් වුනේ 50 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව මිනිත්තු 20ක් පමණ ගත වන විට ලකුණු පුවරුව දෙගුණ කරන්නට ඉන්දීය ක්‍රීඩක Parthib Sundar Gogoi සමත් වුනේ තරගයේ පීඩනය ශ්‍රී ලංකාව දෙසට නතු කරමින්.

ඉන් තවත් මිනිත්තු කිහිපයකට පසුව 74 වැනි මිනිත්තුවේ දී ඉන්දීය ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් ලැබුණු අතර Gurkirat Singh විසින් සාර්ථකව පන්දුව ගෝලය තුළට එල්ල කළේ ගෝල 3ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමමින්.

ඒ වන විටත් තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබූ පසුබිමක තරගය අවසානයේ අතිරේක මිනිත්තුවේ ද Gogoi විසින් ගෝලයක් වාර්තා කරනු ලැබුවේ ඉන්දියාව ගෝල 4-0ක ජයග්‍රහණයක් කරා රැගෙන යමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 4 ඉන්දියාව

ගෝල ලාභීන්:

  • ඉන්දියාව: Himanshu Jangra (50’), Parthib Sundar Gogoi (69’ & 90+3’), Gurkirat Singh (74’P)

ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත අවසන් තරගය ජූලි 31 වැනිදා මාලදිවයින සමඟ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<