LSR ජාත්‍යන්තර පාපැදි සවාරිය පාසිකුඩා සිට මීගමු වෙරළ දක්වා

280
LSR Cycling press conference

ජාත්‍යන්තර පාපැදි සවාරියක අත්දැකීම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් වෙත කැඳවාගෙන එමින්, ලංකා ස්පෝට්රයිසන් (Lanka Sport Reizen – LSR) ආයතනය විසින් සංවිධානය කරනු ලබන “LSR – ශ්‍රී ලංකා ටී කප්” ජාත්‍යන්තර පාපැදි සවාරිය එළඹෙන අප්‍රේල් මසදී පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සංවිධානය වෙමින් පවතියි.

ගුවන් හමුදාවට, සීතාදේවි බාලිකාවන්ට සහ ධර්මරාජයට ශූරතා

මහනුවර හොකී තරගාවලියේ (Kandy sixes) දෙවන සහ අවසන් දිනය පසුගිය ජනවාරි 29 වැනි දා (ඊයේ) නිමාවට පත්විය. චාම් ත්‍යාග ප්‍රදානෝත්සවයකින් දිනය..

මෙම පාපැදි සවාරිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ඔලිම්පික් නිවහනේදී පැවැති අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ලංකා ස්පෝට්රයිසන් කළමණාකාර අධ්‍යක්ෂ තිලක් වීරසිංහ, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ ජාත්‍යන්තර පාපැදි විනිසුරුවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත එන්.කරුණාරත්න යන මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියේය.

ජාත්‍යන්තර ක්‍රීඩා කැලැන්ඩරයේ විශේෂ ස්ථානයක් හිමිවන LSR ජාත්‍යන්තර මැරතන් තරගාවලියද (කොළඹ මැරතන් තරගාවලිය) ආරම්භ කරනු ලැබුවේ ලංකා ස්පෝට්රයිසන් ආයතනයයි. ඊට අමතරව, රම්බල් ඉන් ද ජංගල් (Rumble in the jungle)” මවුන්ටන් පාපැදි සවාරිය,විටෙල් ඇමසන් (Vittel Amazon)” ත්‍රාසජනක අභියෝගාත්මක තරගාවලිය, ශ්‍රී ලංකන් ප්‍රෝ සර්ෆින් (Sri Lankan pro surfing – WQS)” ජාත්‍යන්තර සර්ෆින් තරඟාවලිය ආදී ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කිහිපයක්ම ඔවුන් විසින් සංවිධානය කරන ලදී.

මෙය LSR මංගල පාපැදි සවාරිය” බැවින් තරගකරුවන් 100දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. කණ්ඩායමකට තරගකරුවන් 4ක් හෝ 5ක් බැගින් වන විදෙස් කණ්ඩායම් 10ක්ද, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මඟින් නිර්දේශ කරනු ලබන දේශීය පාපැදිකරුවන් 30 දෙනෙකුද (කණ්ඩායමකට 5 බැගින්) සවාරියට එක්වීමට නියමිතයි. ඉතිරි ස්ථාන, අහඹු වශයෙන් තෝරාගන්නා උතුරු සහ නැගෙනහිර නියෝජනය කරන කණ්ඩායම් දෙකකට ලබා දීමටද සංවිධායක කමිටුව තීරණය කර ඇත. සියළු ක්‍රීඩකයින් පිරිමි ක්‍රීඩකයන් විය යුතුය.

සවාරිය පැවැත්වීමට නියමිතව ඇත්තේ දින තුනක් තුළදී අදියර තුනක් වශයෙනි.

පළමු දිනය – අප්‍රේල් 07, පාසිකුඩා සිට මහියංගනය දක්වා. (කි.මී.140ක දුරක්)

දෙවන දිනය – අප්‍රේල් 08, මහියංගනයේ සිට මහනුවර දක්වා. (කි.මී.80ක දුරක්)

තෙවන දිනය – අප්‍රේල් 09, මහනුවර සිට මීගමුව දක්වා. (කි.මී.120ක දුරක්)

LSR ජාත්‍යන්තර පාපැදි සවාරිය සඳහා පාපැදිකරුවන් ලියාපදිංචි කිරීම, 2017 අප්‍රේල් 05 වැනි දින, මීගමුව කැටමරාන් බීච් හොටෙල් (Catamaran beach hotel) හිදී සිදුකෙරේ. අප්‍රේල් 06 වැනි දිනය වෙන්කොට ඇත්තේ ඔවුන්ව මීගමුවේ සිට පාසිකුඩා වෙරළතීරයට රැගෙන යාම සඳහාය. සවාරිය අප්‍රේල් 07 වනදා ඇරඹෙන්නේ පාසිකුඩා හි මරීනා හෝටලයෙනි.

ලොව පුරා ඕනෑම තරාතිරමක පුද්ගලයන් අතර ප්‍රචලිත පාපැදිය, සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසාත්, ක්‍රීඩාවේ උන්නතිය උදෙසාත් එකලෙස යොදා ගැනීමට ඇති පහසුව සලකා බලමින් LSR ජාත්‍යන්තර පාපැදි තරගාවලිය සංවිධානය කරන බව LSR ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා සඳහන් කළේය.

බයිසිකලය කියන්නේ හැමෝගෙම වාහනයක්. ඒ නිසා සංචාරකයන්ට මින් හොඳ පණිවිඩයක් ලැබේවි.” ඔහු එසේ පැවසුවේය.

“මුලින් අපි ඇඩ්වෙන්චර් ඔන් වීල්ස් (Adventure on wheels) නමැති පාපැදි තරගාවලියක් දින තුනක් පුරාවට පැවැත්වුවා. ඒත් එය ඉදිරියට ගෙනයන්න බැරිවුණා. දැනට මේ සවාරිය අපට හැකි පමණින් තමයි පවත්වන්නේ. ශ්‍රී ලංකා මැරතන් තරගයත් අපි ආරම්භ කළේ සුළුවෙන්. ඒත් දැන් එය ජාත්‍යන්තර ක්‍රීඩා කැලැන්ඩරයේ ඉසව්වක්.” වැඩිදුරටත් අදහස් දැක්වූ වීරසිංහ මහතා පවසා සිටියේ එලෙසිනි.

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ,

“මෙවැනි ජාත්‍යන්තර පාපැදි සවාරියක් අපි සෑහෙන කාලෙකින් පවත්වලා නැහැ. ටුවර් ඩි ෆ්‍රාන්ස් (Tour de France) වගේම මෙය ජනප්‍රියත්වයට පත්විය යුතුයි. පාපැදිය තරුණ තරුණියන් අතර ජනප්‍රිය අංගයක් බවට පත්වෙමින් තිබෙනවා. එනිසා ජාත්‍යන්තර ක්‍රීඩකයින් හා කරට කර ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා ගන්නටත් මෙයින් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවෙනවා.”

LSR ආයතන ප්‍රධානී තිලක් වීරසිංහ මහතාට ස්තුතිවන්ත වීමටද ක්‍රීඩා ඇමතිතුමා අමතක නොකළේය.

“ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයවත් නොගත්ත අභියෝගයක් භාර ගැනීම ගැන තිලක් වීරසිංහ මහතාට මම ස්තුතිවන්ත වෙනවා.” ජයසේකර මහතා අදහස් දැක්වීම අවසන් කළේ එසේයි.

“Cycling for all (සියළු දෙනා වෙනුවෙන් පාපැදිය) කියන සංකල්පය ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ තේමාවක්. මින් එය පැහැදිලි වෙනවා. මම නිව්යෝක් නුවර සංචාරයකට එක්වී සිටිද්දී එහි උදවිය මගෙන් ඇහුවෙ LSR මැරතන් තරගය තියෙන්නේ කවදද කියායි. එය ජාත්‍යන්තරයට ගොස් තිබෙනවා. මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක්‍රීඩාවට අළුත් ආරම්භයක් වේවි. එය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියළු දේ හැකි අයුරින් ලබා දෙනවා. මෙම තරගයත් ජාත්‍යන්තර ක්‍රීඩා කැලැන්ඩරයේ ඉසව්වක් වේවා කියා පතනවා.” අදහස් දැක්වීමට එක්වූ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙම පාපැදි සවාරියට ඇතුළත් නීති රීති ගැන හැඳින්වීමක් කළ එන්. කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

“ජාත්‍යන්තර පාපැදි තරගයක් නම් එය ජාත්‍යන්තර නීති රීති යටතේ ක්‍රියාත්මක විය යුතුයි. මෙහිදී අප ශ්‍රී ලංකාවට නව ප්‍රමිතීන් කිහිපයක් හඳුන්වා දෙනවා.”

ඔහු විසින් පැහැදිලි කළ පරිදි ඒවා මෙසේ වේ.

  • Neutral Serviceඉදිරියෙන් ගමන් කරන ක්‍රීඩකයන්ට අවශ්‍ය උපාංග සහ පහසුකම් වාහන කිහිපයක් මඟින් ලබා දීම.
  • Team Carsකණ්ඩායමකට එක් රථයක් හිමිවේ. පාපැදි රඳවනයන්, කළමණාකරුට සහ අනෙකුත් ක්‍රීඩකයන්ට අවශ්‍ය ඉඩ මෙහි ඇත.
  • Radio Tourතරගයට සම්බන්ධ වන සෑම පාර්ශ්වයකටම, පවතින තත්වය පිළිබඳ රේඩියෝ තාක්ෂණය මඟින් දැනුම් දීම.
  • Timing Systemමේ වන විට ලොව භාවිතා වන නවතම ස්වයංක්‍රීය කාල ගණන පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මීට යොදා ගැනේ.
  • International panel of commissariesප්‍රධාන තීරකවරු තිදෙනෙක්, යතුරු පැදියක් මත සිටින විනිසුරුවෙක් සහ රේඩියෝවෙන් තරගය හසුරුවන නිවේදකයෙක් විදේශයෙන් පැමිණේ.
  • Race Securityතරගය පැවැත්වෙන මාර්ගය සම්පූර්ණයෙන්ම හිස් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් නවතම වැඩපිළිවෙලක් යොදාගැනෙනු ඇත.

ශ්‍රී ලංකාව, ලෝකය තුළ ආරක්‍ෂිත සහ සුවදායී රාජ්‍යයක් බව පසක් කරනු වස් පැවැත්වෙන LSR – ටී කප් පාපැදි සවාරිය”, පාපැදියට පෙම් කරන යුරෝපයේ පාපැදිකරුවන්ටත් ආසියානු පාපැදිකරුවන්ටත් එක්ව තරගවැදීමට ලැබෙන මනා අවස්ථාවකි. ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ සහ ආසියානු පාපැදි සම්මේලනයේ ආශිර්වාදයෙන් එළඹෙන වසර කිහිපය ඇතුළතදී මෙය ජාත්‍යන්තර ඉසව්වක් වශයෙන් ලියාපදිංචිය ලැබී වඩාත් අවධානයට ලක්වනු ඇත.

මේ සෑම වාසියකටම අමතරව ජාත්‍යන්තර පාපැදි සවාරියකින් ශ්‍රී ලාංකික පාපැදිකරුවන්ට ලැබෙන පන්නරය වන්නේ ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා ගමන සාර්ථක කරගැනීමට ලැබෙන පුළුල් අත්දැකීමයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට