යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් නම් කෙරේ

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවය

166

ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Rajamani Devasagayam පත් කර තිබෙනවා.

ඔහුට අමතරව එම කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස Augustine George සහ ගෝල රකින පුහුණුකරු ලෙස සමන් දයාවංශ කණ්ඩායමට එක් වෙනවා.

SAFF කුසලානය ජූලි 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව එහි දී ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය සමඟ තරග වැදීමට නියමිතයි.

ඉන්පසුව ඔවුන් සැප්තැම්බර් මාසයේ දී 2023 20න් පහළ ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වන අතර එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු කොරියාව, මැලේසියාව සහ මොංගෝලියාවයි.

ආසියානු පාපන්දු සම්මේලනයේ B කාණ්ඩයේ පුහුණුකරුවෙකු වන Rajamani Devasagayam ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ Renown ක්‍රීඩා සමාජ නියෝජනය කර තිබෙනවා.

පුහුණුකරුවෙකු ලෙස ඔහු Up Country Lions, Crystal Place වැනි කණ්ඩායම්වලට සිය දායකත්වය ලබා දී ඇති අතර නිමා වූ සුපර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගත් කළුතර Blue Star කණ්ඩායමේ පුහුණුකරු ඔහු වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඔහු 2016-17 සහ 2021 වසරවල දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

Augustine George ද B කාණ්ඩයේ සහතික ලත් පුහුණුකරුවෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙනවා. ක්‍රීඩා සමාජ පිටියේ දී Renown, Old Bens, Java Lane වැනි කණ්ඩායම් නියෝජනය කළ ඔහු 2000 සිට 2003 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා.

පුහුණුකරුවෙකු ලෙස 2012-15 සහ වර්තමානයේ Java Lane සමඟ ඔහු සම්බන්ධතාව ඇති අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඔවුන් Expo Lanka 19න් පහළ පාපන්දු තරගාවලිය ද ජයග්‍රහණය කළා.

තවත් B කාණ්ඩයේ පුහුණුකරුවෙකු වන සමන් දයාවංශ ගෝල රකින පුහුණුකරුවෙකු ලෙස පළමු කාණ්ඩයේ සහතික ලත් අයෙක්. 1995 සිට 2009 දක්වා Java Lane නියෝජනය කළ ඔහු 2004–5 දක්වා ජාතික කණ්ඩායමට ද ඇතුළත් වුනා.

2010 සිට 2016 දක්වා ගුවන් හමුදා කණ්ඩායමේ ගෝල රකින පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු 2018 සිට 2020 දක්වා Renown කණ්ඩායමේ ගෝල රකින පුහුණුකරු ලෙස කටයුතු කළා.

එමෙන්ම නිමා වූ පළාත් තරගාවලියේ ශූරතාවය දිනා ගත් උතුරු පළාත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද ඔහුයි.

මීට අමතරව මෙවර SAFF අවුරුදු 20න් පහළ තරගාවලියේ විනිසුරුවන් ලෙස ලක්මාල් වීරක්කොඩි සහ දයාන් සෙන්දනායක තේරී පත්ව තිබෙනවා.

ලක්මාල් වීරක්කොඩි තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර දයාන් සෙන්දනායක තේරී පත්ව ඇත්තේ සහය විනිසුරුවරයෙක් ලෙසයි.

SAFF 20න් පහළ පාපන්දු ශූරතාවය ජුලි 25 සිට අගෝස්තු 05 දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<