ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ගෙන් Sea Hawksට හොඳ අභියෝගයක්

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවය

208
SLU20 v Sea Hawks

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා 20න් පහළ පාපන්දු ක්‍රීඩකයින් සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ප්‍රබල Sea Hawks ක්‍රීඩකයින් සමඟ පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දීයි.

එම තරගයෙන් ගෝල 1-0ක ජයක් ලබා ගැනීමට Sea Hawks ක්‍රීඩකයින්ට හැකි වූවත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ගෙන් ඔවුන්ට හොඳ අභියෝගයක් එල්ල වුනා.

තරගයේ පළමු අර්ධය ගෝල රහිතව අවසන් වූ අතර 80 වැනි මිනිත්තුවෙන් පසු ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට Sea Hawks ක්‍රීඩක Mohamed Kurshid සමත් වුනා.

මෙරට දේශීය පාපන්දු පිටියේ ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් වන Sea Hawks කණ්ඩායම නිමා වූ 2021 සුපර් ලීග් තරගාවලිය අවසන් කළේ දෙවැන්නා ලෙසයි.

මෙම තරගයෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rajamani Devasagayam ප්‍රකාශ කළේ,

“ඔව් අපි පරාජයට පත් වුනා, ඒත් මම ඔවුන්ගේ දස්කම් ගැන සතුටට පත් වෙනවා. අපි පෙර තරගයට වඩා මේ තරගයේ දී දස්කම් වර්ධනය කර ගෙන තිබුණා. Sea Hawks කියන්නේ ප්‍රබල සහ ඉතා දක්ෂ කණ්ඩායමක්.

අපි අවස්ථාව කිහිපයක් නිර්මාණය කර ගත්තත් ගෝල වාර්තා කිරීමට නොහැකි වුනා. ආරක්ෂිත ක්‍රීඩා විලාශය ගැන සතුටට පත් වෙනවා වුනත් තව එය වර්ධනය කර ගන්න ඕන. අපේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් පෙර තරගයට වඩා මේ තරගයේ හොඳ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළත් ගෝල අවසන් කිරීම මීට වඩා වර්ධනය කර ගන්න ඕන.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<