පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට ගෝල 1-0ක පරාජයක්

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය 2022

283

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය අද (25 වැනිදා) ඉන්දියාවේ දී ආරම්භ වුනා.

තරගාවලියේ ආරම්භක දිනයේ දී තරග දෙකක් පැවැත්වුණු අතර ඉන් එක් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට බංග්ලාදේශය සමත් වුනා.

තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් එක්වන අතර තරගය පැවැත්වුණේ Bhubaneswar හි Kalinga ක්‍රීඩාංගණයේ දීයි.

කණ්ඩායම් දෙකම තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගත්තේ පළමු අර්ධය පුරා කරට කර සටනක නිරත වෙමිනුයි. පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක් දියත් කළා. පන්දුව ඔවුන් සතුවම තබා ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් වුනා.

මේ අතරවාරයේ දඬුවම් පහර චතුරශ්‍රයේ කොනක සිට කවාකාර ප්‍රහාරයකින් අලංකාර ගෝලයක් රැස් කරන්නට Mirazul Islam සමත් වුනේ බංග්ලාදේශය තරගයේ පෙරමුණට රැගෙන එමිනුයි.

අවසන් මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල රැස් කරන්නට දැඩි උත්සහයක් ගත්තත්, එම උත්සාහය සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 1 බංග්ලාදේශය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

  • බංග්ලාදේශය – Mirazul Islam 71′

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 27 වැනිදා නේපාලය සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සාර්ථකම කණ්ඩායමේ වන නේපාලය, SAFF 20න් පහළ ශූරතාවය දෙවරක් ජයගෙන තිබෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<