ශ්‍රී ලංකා යෞවනයින්ට නේපාලය හමුවේ පරාජයක්

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානය 2022

298
SAFF U20 Championship 2022 Sri Lanka vs Nepal

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය අද (27) නේපාලය සමඟින් පැවැත්වුණා. ගෝල 3-0ක් ලෙස එම තරගයේ ජය හිමිකර ගත්තේ නේපාලයයි.

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී බංග්ලාදේශය සමඟ ක්‍රීඩා කළ අතර එහි දී තරගකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. කෙසේ වෙතත් එම තරගය ද අවසන් වුණේ ගෝල 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට පරජය හිමි වෙමිනුයි.

පෙර තරගය පරිදීම මෙම තරගයත් පැවැත්වුණේ ඉන්දියාවේ Bhubaneswar හිදියි.

තරගයේ පළමු අර්ධයේ දී ගෝල රැස් කරන්නට කණ්ඩායම් දෙකම සමත් වුනේ නැහැ. නේපාලය සෑහෙන අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කරගන්නට සමත් වුනත්, ඔවුන්ට සාර්ථක වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා ගෝ​ල රකින්නා පළමු අර්ධයේ දී දැක්වූ දස්කම් කැපී පෙනුණා.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 0 නේපාලය

දෙවැනි අර්ධයේ දී තරගය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගන්නට නේපාල ක්‍රීඩකයින් සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි අර්ධයේ දී ඉතා ආසන්න අවස්ථා දෙකක් හිමි වුනත්, ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වු​නේ නැහැ.

ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලේ දුර්වලතාවයන් නිසා නේපාල කණ්ඩායමේ ගෝල තුනම වාර්තා වූ අතර තනි වූ ගෝල රකින්නාට එම ගෝල තුනම නවත්වන්නට කළ හැකි යමක් තිබුණේ නැහැ.

Ayush Galan 57 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ගෝල රාමුව ඉදිරියට එවූ පන්දුව සාර්ථකව දැල තුළට යොමු කරමිනුයි. ආරක්ෂක ක්‍රීඩකයින් හා ගෝල රකින්නාගේ හිසට ඉහළින් පන්දුව ගුවන්ගත කළ Krithish Ratna අලංකාර ප්‍රහාරයකින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කළා.

Managya Nakarami 83 වැනි මිනිත්තුවේ දී ආරක්ෂක ක්‍රීඩකයින් පසු කර පන්දුව දැල්ගත කළේ ශ්‍රී ලංකා පරාජය තහවුරු කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 3 නේපාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • නේපාලය – Ayush Galan 57′, Krithish Ratna 64′, Managya Nakarami 83′

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 29 වැනිදා ප්‍රබල ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<