ශ්‍රී ලංකාව නැති SAFF ශූරතාවයට කණ්ඩායම් 8ක්!

14 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාව

240

මේ වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 14 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (SAFF) ශූරතාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීම ඊයේ (17) පැවැත්වුණේ ඉන්දියාවේ නව දිල්ලි නුවර දීයි.

තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් අටක් සහභාගී වන අතර වත්මන් ශූර ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයට ඇතුළත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පනවා තිබුණු තහනමක් නිසාවෙන්, 2021 මාලදිවයිනේ දී පැවති SAFF තරගාවලියට පාකිස්තානය සහභාගී නොවුන නමුත්, මේ වන විට එම තහනම බල රහිත කර තිබෙන නිසාවෙන් පාකිස්තානයට මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවනවා.

මේ අතර, පසුගිය පෙබරවාරි මාසයේ සිට FIFA විසින් පනවා තිබෙන තහනම නිසාවෙන් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

එවැනි තත්ත්වයක් යටතේ, මෙවර තරගාවලිය සඳහා බටහිර ආසියානු රටවල් වන කුවේට් සහ ලෙබනනයට ද සංවිධායක කමිටුවෙන් ආරාධනා ලැබී තිබෙන අතර ඒ සමඟ මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේ A කාණ්ඩයෙන් වත්මන් ශූර ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ ආරාධිත කණ්ඩායම් වන කුවේට් තරග කරද්දී, FIFA ශ්‍රේණිගත කිරීම් හි 99 වැනි ස්ථානයේ සිටින ලෙබනනය, දෙවරක් SAFF කුසලානය දිනා ගත් මාලදිවයින, එක් වරක් කුසලාන දිනා ගත් බංග්ලාදේශය සහ භූතානය B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

පළමු වටය (Group stage) අවසානයේ කාණ්ඩ දෙකෙන්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් පූර්ව තරග ජූලි 1 වැනිදාත්, අවසන් මහා තරගය ජූලි 4 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් පැවති SAFF තරගාවලි 13 දී ඉන්දියාව 8 වරක් ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් වී තිබෙන අතර අවසන් වරට 2021 දී පැවති අවසන් මහා තරගයේ දී නේපාලය ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දියාව සමත් වුනා.

14 වැනි SAFF ශූරතා තරගාවලිය ජුනි 21 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

  • A කාණ්ඩය – ඉන්දියාව, කුවේට්, නේපාලය, පකිස්ථානය
  • B කාණ්ඩය – ලෙබනනය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය

තරග කාලසටහන

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<